අසාත්මික මරණවලට හේතුව හොරණ ඖෂධය.

අසාත්මික මරණවලට හේතුව හොරණ ඖෂධය.

උග්‍ර අසාත්මිකතා තත්ත්වයන් හේතුවෙන් මරණ සිදුවූ Co-Amoxiclave For Inj – BP 1.2g නමැති ප්‍රතිජිවක ඖෂධය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ රසායනාගාර මගින් පරීක්ෂණයක් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර ඇත.

ඖෂධ භාවිතය හේතුවෙන් උග්‍ර අසාත්මිකතා ඇතිවී මියගිය රෝගීන් දෙදෙනකු භාවිත කර ඇත්තේද ප්‍රතිජීවක ඖෂධ දෙකක් බව ඖෂධ අසාත්මිකතා හේතුවෙන් වාර්තා වූ සිද්ධීන් ගැන සෙවීමට පත්කළ කමිටුවද ඊයේ (10) තහවුරු කළේය. කමිටුවේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති, සෛල ජීව විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දිම ජීවන්දර සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

ඉන් එක් ඖෂධයක් වන්නේ මෙරට නිෂ්පාදනය කරනු ලබන ප්‍රතිජීවක ඖෂධයක් වන Co-Amoxiclave For Inj – BR 1.2g වන අතර අනෙක් ඖෂධය වන්නේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ නිෂ්පාදිත Bupivacaine Hydrochiloride in Dxtrose Inj USP 5/mg/m/ ඖෂධයයි. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන් ගෙන්වන ලද ඖෂධයේ මෙරට තත්ත්ව පරීක්ෂාවේ ගැටලුවක් නොතිබූ බවද ඔහු පෙන්වා දුන්නේය.

එසේ වුවද මෙරට නිෂ්පාදිත Co-Amoxiclave ප්‍රතිජීවක ඖෂධය නිෂ්පාදනය කළ නිෂ්පාදකයාගේ වෙනත් ​ඖෂධ කාණ්ඩවල තත්ත්ව පරීක්ෂණවලදීද ගැටලු මතුව ඇති බවට වාර්තා වේ.

මේ තත්ත්වය මත Co-Amoxiclave ප්‍රතිජීවක ඖෂධය සම්බන්ධව වැඩිදුර අධ්‍යයනයක් සිදුකරන බවටද මහාචාර්යවරයා මෙහිදී කියා සිටියේය.

එම නිසා මෙම එන්නතේ කාණ්ඩ තුනක් වැඩිදුර පරීක්ෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ රසායනාගාරයක් වෙත යොමු කළ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න කියා සිටියේය. ඒ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මෙම එන්නත ලබාදීමෙන් පසු නිකවැරටිය මූලික රෝහල, රාගම ශික්ෂණ රෝහල, කරවනැල්ල වතුපිටිවල සහ ගම්පහ යන රෝහල් පහකින් උග්‍ර අසාත්මිකතා තත්ත්වයට පත්වූ රෝගීන් වාර්තා වී තිබේ.

‘‘මරණ වාර්තා වූ නිසා එන්නත පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කරන්න අපි තීන්දු කළා. ඒ නිසා වෙනත් රසායනාගාරයකට සාම්පල යොමු කළා’’ යැයි සභාපතිවරයා කීවේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2019 වර්ෂයේ ලියාපදිංචි වී ඇති මෙම එන්නතේ ලියාපදිංචිය 2023 දක්වා වලංගු වෙයි.

කෙසේ වෙතත් 2023-06-30 සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති අවදානම් ඇගයීමේ අනුකමිටුවේ නිර්දේශ මත එම එන්නතේ කාණ්ඩ තුනක් තාවකාලිකව ඉවත් කර තිබේ.

ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්‌යේෂණාගාරයේ තත්ත්ව වාර්තා පදනම් කරගනිමින් එක් කාණ්ඩයක්ද භාවිතයෙන් ඉවත් කර ඇත.

මෙම එන්නත හොරණ කිඳෙල්පිටියේ පිහිටි පෞද්ගලික ඖෂධ නිෂ්පාදනාගාරයක් විසින් නිෂ්පාදනය කර තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *