Thu. Sep 19th, 2024

අද (30) රාත්‍රී අහසේ සෙනසුරු සමඟ ඉතා විරල ගණයේ සුපිරි නීල සඳක් දැක ගැනීමට හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

අද පුන් පොහෝ දින සන්ධ්‍යාවේ පූර්ණ චන්ද්‍රයා දැක ගත හැකි වුවද මෙම සුපිරි නීල සඳ නැරඹීමට හොඳම වේලාව වන්නේ අද රාත්‍රිය ගෙවී ගොස් පසු දින උදෑසන 5.00ට පමණ බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

ඒ ආසන්නයේම ඉතා දීප්තිමත්ව සෙනසුරු ග්‍රහයා ද දැක ගැනීමට හැකියි.

මෙවැනි සුපිරි නීල සඳක් නැවත දැක ගත හැකි වන්නේ, 2037 ජනවාරි මාසයේ බවත්, 2025 නොවැම්බර් වන තෙක් සඳ නැවතත් මෙතරම් සමීප නොවනු ඇති බව‍ත් මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එකම මාසයක පුර පසළොස්වක සඳ දෙකක් පවතින විට දෙවන පුර පසළොස්වක පොහොය සඳ නිල් සඳ ලෙස හැඳින්වෙනවා. මෙය නමක් පමණක් වන අතර සඳ සැබැවින්ම නිල් පැහැයෙන් දිස් වන්නේ නැහැ.

චන්ද්‍රයා තම කක්ෂයේ පෘථිවියට ඉතා ආසන්නව සිටින විට පූර්ණ චන්ද්‍රයා ඇති වීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය කාලයේ දැක ඇති පූර්ණ චන්ද්‍රයන්ට වඩා අද දින 14% කින් විශාල වන අතර 30%ක පමණ දීප්තියකින් යුක්ත වනු ඇති.

පුර පසළොස්වක පෝය දිනවල චන්ද්‍රයාගේ ප්‍රමාණය හා දීප්තිය මාසෙකින් මාසයකට තරමක් වෙනස් වන්නේ පෘථිවිය වටා ඇති චන්ද්‍රයාගේ කක්ෂයේ ඉලිප්සාකාර හැඩය නිසයි.

හෙට (31) පෙ.ව 7.05ට පෘථිවියට කි.මී 357344 ක් පමණ දුරකින් චන්ද්‍රයා පෘථිවියට සමීප වෙනවා.

සඳ පෘථිවියට ළං වීම නිසා ඇති වන ගුරුත්වාකර්ෂණයේ වැඩි වීම මත වඩදිය මට්ටමේ වැඩි වීමක් ඇති විය හැකි නමුත් භූමි කම්පා, කුණාටු ඇති වන බවට වන කටකතා සත්‍යයෙන් තොර බව ද මහාචාර්යවරයා පැවසුවා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *