ජාතික හැඳුනුම්පත නැතිවුණොත් බුකියේ දාන්න එපා.

අස්ථානගත වූ මුදල් පසුම්බි තුළ ඇති ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර ආදිය හිමිකරුවන් සොයා ගැනීමේ අරමුණින් සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කිරීමට ඇතැමුන් පෙලඹීම හේතුවෙන් එම මුදල් පසුම්බිය අස්ථානගත වීමට වඩා හානියක් ඉන් විය හැකි බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පෙන්වා දෙයි.

අස්ථානගත වූ මුදල් පසුම්බි හිමිකරුවන්ටදීමේ අරමුණින් ඇතැම් පුද්ගලයන් එම මුදල් පසුම්බි තුළ ඇති ජාතික හැඳුනුම්පත් අංක, විදෙස් ගමන් බලපත්‍ර, කාර්යාලීය හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ආදියෙහි ඡායාරූප ගෙන ඒවා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යයෙහි ප්‍රදර්ශනය කරති.

පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කරන එවැනි ලේඛන සමාජ මාධ්‍යයෙහි ප්‍රදර්ශනය කිරීමෙන් අපරාධකරුවන්ට විවිධ අපරාධයන් සඳහා එම තොරතුරු යොදාගැනීමේ හැකියාවක් ඇති බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි චන්දිමා අරුමප්පෙරුම පෙන්වා දෙයි.

එම තොරතුරු යොදාගෙන ව්‍යාජ ලේඛන සකස් කර දුරකතන සමාගම්වලින් සිම්පත් පවා මිලදී ගැනීමේ හැකියාවක් ඇති බවද පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර, රියැදුරු බලපත්‍ර ආදිය සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කිරීමෙන් වැළකී සිටින ලෙස පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටියි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *