Sat. Jul 27th, 2024

ශ්‍රී ලංකාවේ ජීවත් වන වයස අවුරුදු 18ත් 25ත් අතර තරුණයන්ගෙන් සියයට 80ක් සහ අවුරුදු 25ත් 36ත් අතර තරුණයන්ගෙන් සියයට 70ක් විදේශගත වීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන බව විද්‍යාත්මක සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

මේ සමග රටේ අනාගත වැඩිහිටි ප්‍රජාවට හුදෙකලාව ජීවත්වීමට සිදුවීමේ ප්‍රවණතාවක් රට තුළ නිර්මාණය වෙමින් පවතින බව පර්යේෂකයෝ පවසති.

කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මහාචාර්ය ප්‍රසාදිනි ගමගේ ඇතුළු පර්යේෂක කණ්ඩායමක් විසින් මෙම සමීක්ෂණය සිදු කරනු ලැබ ඇති අතර මේ සඳහා ශ්‍රී ලංකාවේ පදිංචි පුද්ගලයන් 2946ක් සහ මේ වන විට විදේශගත වී ඇති 665 දෙනෙකු සහභාගි කරවා ගෙන ඇතැයි මහාචාර්යවරිය ‘ඉරිදා මව්බිම’ ට ප්‍රකාශ කළා ය.

මෙම පිරිස අතරින් සියයට 58ක් සහ සියයට 42ක් කාන්තාවන් මේ සඳහා සහභාගි කරවා ගත් බව ත් ඔවුන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 26ත් 35ත් අතරේ පසුවන්නන් වූ අතර සමීක්ෂණයට බඳුන් වූ සමස්ත පිරිසෙන් සියයට 57ක් විදේශගත වීමෙන් පසු යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ කිසිදු අපේක්ෂාවක් නැති බව ප්‍රකාශ කළ බව ද මේ සමීක්ෂණයේ තොරතුරු පිළිබඳව කරුණු අනාවරණය කරමින් ඇය තවදුරට ත් ප්‍රකාශ කළා ය.

මෙම තත්ත්වයත් සමග මෙම දරුවන්ගේ මවුපියන් සිය කුටුම්බ තුළ හුදෙකලා වීමේ වැඩි අවදානමක් පවතින බව ද මහාචාර්යවරිය එහිදී පෙන්වා දුන් අතර රටේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන නිදහස් අධ්‍යාපනයෙන් බිහිවන තරුණ තරුණියන් මේ අයුරින් විදේශගත වීමේ ඇති ප්‍රවණතාව තුළ තව ත් සමාජ, ආර්ථික අර්බුද රැසක් නිර්මාණය විය හැකි බව ත් මේ සම්බන්ධයෙන් ද රටේ පාලකයන් සහ විද්වතුන් අවධානය යොමු කළ යුතු කරුණක් බව ත් ඕ පෙන්වා දුන්නා ය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *