ලංකා – මහජන බැංකු දෙකට බිලියන 80ක් පොලු තැබූ කෝටිපතියන් 10.

මහජන බැංකුවට සහ ලංකා බැංකුවට ගෙවීම් පැහැර හැරි ව්‍යාපාරිකයන් 10 දෙනාගෙන් වහා ම එම මුදල් අයක කර ගැනීමට අවශ්‍ය නීති කෙටුම්පත් පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලෙස, මහජන බැංකු ශාඛා සංගමයේ සභාපති රංජන් සේනානායක රජයෙන් ඉල්ලීමක් කළේය.

ඔහු මෙම ඉල්ලිම කළේ ඊයේ (2) විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේ දී පැවති ලංකා බැංකු සේවක සංගමයේ බස්නාහිර පළාත් මහ සමුළුව දීය.

එහි දී ඔහු පෙන්වා දුන්නේ, මෙම ව්‍යාපාරිකයන් දස දෙනාගෙන් බිලියන 50ක් ලංකා බැංකුවට ද බිලියන 30ක් මහජන බැංකුවට ද අයවිය යුතු බැවින් එම මුදල් අය කර ගන්නේ නම් බැංකු විකිණීම අවශ්‍ය නොවන බවයි.

කෙසේ නමුත් මෙම ව්‍යාපාරිකයන් දස දෙනාගෙන් එම බැංකුවලට අය විය යුතු රුපියල් බිලියන 80 අය කර ගැනීමට රජය කටයුතු නොකළහොත් අදාළ ව්‍යාපාරිකයන්ගේ නම් සමාජ ගතකරන බව ද ඔහු අවධාරණය කළේය.

මේ අතර මෙම සමුළුව ඇමතූ ලංකා බැංකු සේවක සංගමයේ හිටපු ජ්‍යෙෂ්ඨ ලේකම් ජානක ආරියපාල පැවසුවේ, ආණ්ඩුවේ මර්දනකාරී වැඩ පිළිවෙලට අනුව මේ වන විට රාජ්‍ය ආයතන 31ක් පෞද්ගලීකරණය කිරීම සඳහා ලැයිස්තු ගත කර ඇති බවත් ඒ අතර විදුලිබල මණ්ඩලය, ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ටෙලිකොම්, රාජ්‍ය බැංකු, රක්ෂණ සංස්ථාව යන ආයතන ද ඇතුළත් බවයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *