Sat. Jul 27th, 2024

ඉදිරි මාස තුනක කාලයක් සඳහා විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය රුපියල් බිලියන පනස්හතරක මුදලක් උපයා ගැනීමට විදුලි ගාස්තු 32% කින් පමණ ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය මහජන ​උපයෝගිතා​ කොමිෂන් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පෙරේදා (4) යොමුකළ ලිපියක මේ බව සඳහන් වෙයි.

දැඩි නියඟය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය අඩුවීම නිසා මෙගාවොට් 3500 ක විදුලිය නිෂ්පාදනය කිරීම දැඩි අර්බුදයකට ලක්විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ අදහස වී ඇත.

ඒ අනුව දැනට විදුලි ඒකකයක් සඳහා සාමාන්‍යයෙන් අයකරන රුපියල් 42 ක මුදල රුපියල් 56 දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ. පැය විසිහතර පුරා විදුලි බලය ලබාදීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බැවින් තාප විදුලි බලාගාරවලින් විදුලි බලය ලබාගැනීමටද සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.

2022 වසරේ අගෝස්තු සිට මේ දක්වා විදුලි ගාස්තු සංශෝධන තුනක් සිදුකර ඇත. යෝජිත ගාස්තු ඉහළ දැමීම සිදුකළහොත් වසරක කාලයක් තුළ ගාස්තු 200% කට අධික ප්‍රතිශතයකින් ඉහළ දමා ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික ප්‍රකාශ කළේය.

ඒ කොළඹදී ඊයේ (5) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කිරීමේ අරමුණින් ආණ්ඩුව මෙම පියවර ගන්නා බවටද ඔහු චෝදනා කළේය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *