ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වෙනස් වෙයි.

ඊශ්‍රායල – හමාස් යුද්ධය හේතුවෙන් මැද පෙරදිග තෙල් සැපයුමට සැලකිය යුතු බාධාවක් එල්ල නොවන බව තහවුරු වීමත් සමඟ පසුගිය සති 04 මුළුල්ලේ පහත වැටුණු ලෝක වෙළෙඳපොළේ තෙල් මිල නැවතත් යථා තත්ත්වයට පත්වීමක් දැන් දක්නට ලැබෙයි.

සැප්තැම්බර් මාසය අවසානයේ සිට තෙල් මිල 20%කින් පමණ පහත වැටුණු අතර දැන් නැවතත් මිල ඉහළ යාමක් දක්නට ලැබෙන්නේ නිෂ්පාදන කප්පාදුව වැඩිකිරීමට ඔපෙක් ප්ලස් (OPEC +) කණ්ඩායම සැලසුම් කිරීම හේතුවෙනි.

ඔපෙක් සංවිධානයේ සාමාජිකයන් මෙන්ම රුසියාව ඇතුළු තෙල් අපනයන කරන අනෙකුත් රටවල් ලබන 26 වනදා රැස්වී ඒ පිළිබඳව තීරණයකට එළඹීමට නියමිතව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

එම පුවත වාර්තාවීමත් සමග පසුගිය සිකුරාදා ලෝක වෙළෙඳපොළේ තෙල් මිල 4%කින් පමණ ඉහළ ගියේය.

OPEC + (ඔපෙක් ප්ලස්) කණ්ඩායම දිනකට තෙල් බැරල් මිලියනය බැගින් අතිරික්ත කප්පාදුවක් සැලසුම් කරන බවද වාර්තා වෙයි.

දැනට ක්‍රියාත්මක නිෂ්පාදන කප්පාදුව නිසා ඔපෙක් රටවල තෙල් නිෂ්පාදනය 2021 වසරේ අගෝස්තු මාසයෙන් පසු පහළම අගයක පවතින බවත් සෞදි අරාබිය අතිරේක තෙල් බැරල් මිලියනයක දෛනික නිෂ්පාදන කප්පාදුවක් ක්‍රියාත්මක කරන බවත් සඳහන් ය.

නව නිෂ්පාදන කප්පාදුව පිළිබඳ බලාපොරොත්තුව නිසා පසුගිය නොවැම්බර් 16 වනදා ඩොලර් 77.42ක් වූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ ඩොලර් 81.24ක් ලෙසයි.

අමෙරිකානු WTI තෙල් බැරලයක මිල පසුගිය නොවැම්බර් 16 වනදා ඩොලර් 73.09ක් ලෙස සටහන් වූ අතර එය අද වනවිට ඩොලර් 76.59 දක්වා ඉහළ ගොස් තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *