ශරීරයේ පැහැය වෙනස් කරන පිළිකාකාරක එන්නත් අලෙවි කිරීමේ ජාවරමක් හසුවෙයි.

සම පැහැපත් වන බව අඟවා පිළිකාකාරක සහිත එන්නත් කාන්තාවන්ට අලෙවි කළ ජාවාරමක් නීතියේ රැහැනට හසු කරදීමට හිරු CIA සමත්වුණා.

අනවසරයෙන් මෙරටට ගෙන්වන ලද එම එන්නත් අලෙවි කර තිබුණේ රුපියල් ලක්ෂ ගණනක මුදලකටයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරයකින් තොරව කිසිදු ඖෂධයක් හෝ එන්නතක් රට තුළ අලෙවි කළ නොහැකියි.

මහජන සෞඛ්‍යය පිළිබඳව සලකා එවැනි නීතිමය පසුබිමක් පැවතියද එය මායිම් නොකර විදේශ රටවලින් ගෙන්වූ බව පවසා ශරීරයේ පැහැය වෙනස් කිරීමේ එන්නත් අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව හිරු CIA වෙත තොරතුරක් ලැබුණා.

එලෙස අනවසරයෙන් මෙරටට ගෙන්වන ලද එන්නත් රූපලාවන්‍යගාරයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන්ට අලෙවි කරන බව සනාථ කරගැනීමටත් හිරු CIA සමත්වුණා.

ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ දැන්වීම් පළකරමින් මෙම එන්නත් අලෙවි කිරීමේ ජාවාරම සිදුවෙමින් පවතින පසුබිමක එන්නත් අලෙවි කරන අයෙකු උපාය දූතයෙකු මාර්ගයෙන් අප දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා.

තහවුරුකරගත් තොරතුරු ඔස්සේ හිරු CIA හලාවත ප්‍රදේශයේ පවත්වාගෙන යන අදාළ රූපලාවන්‍යාගාරය වෙත මෙලෙස ළඟා වුණේ එම එන්නත් සහ ආලේපන මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින්.

එහිදී ඔවුන් අප වෙත එන්නත් 10ක් අලෙවි කිරීමට සූදානම් වූයේ රුපියල් පන් ලක්ෂ 580,000ක මුදලකටයි.

නිසි අවසරයකින් තොරව එලෙස ශාරීරික පැහැය වෙනස් කිරීමේ එන්නත් අලෙවි කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් අප පෙරදීම කළ දැනුම්දීම අනුව පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන වැටලීම් ඒකකයේ නිලධාරීන් එම ස්ථානය වටලනු ලැබුවා.

විමර්ශන නිලධාරීන් අනාවරණ කරගත් ආකාරයට පිළිකා කාරක එන්නතක් ලෙස හඳුනාගෙන ඇති මෙම ශාරීරික පැහැය වෙනස් කිරීමේ එන්නත් සමඟ එම රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය අත්අඩංගුවට ගනු ලැබුවා.

ජනතාවගේ ජීවිත පවා අනතුරේ හෙළන මෙවැනි මෙවැනි වංචනික ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු රට හමුවේ ඉදිරියටත් හෙළි කිරීමට හිරු CIA සූදානම්.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *