Sat. Jul 27th, 2024

සුදූ ඔයාට මාරක අපලයක් තියෙනවා. ඒකට ශාන්තිකර්මයක් කරන්න ඔයාගෙම සල්ලි ඕනෑ. ඒකෙන් පස්සේ අපි දෙන්නට බඳින්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාගේ, ඔයා මගේ, යැයි පවසමින් 38 හැවිරිදි සංවර්ධන සහකාරවරියකගෙන් රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි දෙදරු පියකු අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුට විරුද්ධව මෙවැනිම මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් වැලිමඩ අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

මීට වසරකට පමණ ඉහතදී හදිසියේ ස්වාමිපුරුෂයා මිය ගිය දරුවන් නැති කාන්තාවන් ස්වාමිපුරුෂයාගේ ඥාතීන්ගේ අවසරය මත සතිඅන්ත පුවත්පතක සහකරුවකු සොයා මංගල දැන්වීමක් පළ කර තිබූ බව පොලිසිය කියයි.

දැන්වීම පළ වී දින කීපයකට පසු පුද්ගලයකු එම කාන්තාව අමතා හිතවත්කමක් ගොඩනඟාගෙන ඇය හමුවීමට පැමිණ තිබූ අතර ඇඟලුම් කර්මාන්තශාලාවක හිමිකරුවකු බවත් හෝමාගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින බවත් ඔහුට මවුපිය දෙදෙනා සහ සහෝදර සහෝදරියන් නැති බවත් ඔහුට මනාප නම් රැකියාවට යෑමට අවශ්‍ය නොවන බවත් ඒවායේ දියුණුව සඳහා කටයුතු කරගෙන සිටීමට හැකි බවත් පවසා ඒ සියලු කටයුතු සිදු කෙරෙන්නේ දෙදෙනාගේ හඳහන් ගැළපෙන්නේ නම් පමණක් බවත් පවසා තිබූ බව පොලිසිය කියයි.

එලෙස පවසා තිබූ සැකකරු එම කාන්තාවගේ හඳහනේ පිටපතක් ඉල්ලාගෙන පිටවී ගොස් දින කිහිපයකට පසු සිනහමුසු මුහුණින් පැමිණ එම කාන්තාව අමතා තිබූ සැකකරු දෙදෙනාගේ හඳහන් ගැළපෙන බවත් ඒත් පොඩි පරහක් තියෙනවා දුක්මුසු පෙනුමක් මවා ගනිමින් කලබල වෙන්න එපා යැයි පවසමින් ඇගේ අතක් අල්ලා ගත් බව සංවර්ධන සහකාරවරිය පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත.

අනතුරුව සැකකරු “සුදූ ඔයාට මාරක අපලයක් තියෙනවා කියලා හදහන් බලපු තැනින් කිව්වා. සුදූ ඒකට ශාන්තිකර්මයක් කරන්න තියෙනවා. ඒකට වැය කරන්න ඕනෑ ඔයා දාඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි. මගේ සල්ලිවලින් ඒකට වියදම් කොළොත් ශාන්තිකර්මය හරියට ඉෂ්ට වෙන්නෙ නැහැලු. ඔයා මට රුපියල් ලක්ෂ 25ක් දෙන්න. ඔයාගේ අපලේ දුරු වුණාම මම ඒක රිටන් කරන්නම්. මම දන්න කියන හාමුදුරු කෙනෙක් අනුරාධපුරයේ ඉන්නවා. එයාට කියලා වැඩේ කරගමු නැත්තම් අපි කපටින්ට අහුවෙනවා.” යැයි පවසා තිබේ.

සැකකරුගේ එම චාටු බස්වලට රැවටුණු සංවර්ධන සහකාරවරිය සැකකරු දුන් ගිණුම් අංක හතරකට අවස්ථා හයකදී දින කීපයක් තුළදී මුදල් බැර කර තිබූ අතර එයින් දින කිහිපයකට පසු සැකකරුගෙන් ලැබෙන දුරකතන ඇමතුම් ද දිනෙන් දින අඩු වන්නට වූයෙන් ඒ පිළිබඳ සැකයක් ඇති වීමෙන් අනතුරුව පැමිණිලිකාරිය වෙනත් දුරකතන අංකයකින් සැකකරුගේ දුරකතනයට ඇමතුමක් ගත් අවස්ථාවේදී කුඩා දරුවන් හඬා වැටෙන හඬ ඇසී තිබූ බව පොලිසිය කියයි.

අනතුරුව පැමිණිලිකාරිය සුපුරුදු ලෙස ගන්නා දුරකතන අංකයට අවස්ථා කිහිපයකදී ඇමතුම් ගෙන ඒ පිළිබඳ විමසීමට උත්සාහ ගත්තද සැකකරු දුරකතනය විසන්ධි කර තිබූ බව පොලිසිය කියයි.

අනතුරුව මේ සම්බන්ධයෙන් හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට කරන ලද පැමිණිල්ලක් අනුව කරන ලද මූලික විමර්ශනවලදී අදාළ සැකකරු මීට පෙරද බදුල්ල ප්‍රදේශයෙන් විවාහ වී සිටි පුද්ගලයකු බවත් එම කාන්තාවට දාව දරුවකු සිටින බවත් ඒ වෙනුවෙන් එම කාන්තාවට නඩත්තු ගෙවන බවත් දෙවන විවාහයේ බිරියට දරු දෙදෙනකු සිටින බවත් ඇය සමඟ මේ වන විට මාලබේ නිවෙසක දිවි ගෙවන බවත් අනාවරණය වී ඇත. ස්ථිර රැකියාවක් හෝ ස්ථිර පදිංචියක් නැති සැකකරු කාන්තාවන්ට විවාහ පොරොන්දු දී මුදල් වංචා කර විවිධ ප්‍රදේශවල ඉහළ මිල ගණන්වලට තිබෙන තාප්පවලින් වටවූ නිවාසවල කෙටි කලක් රැඳී සිටීම පුරුද්දක් කරගෙන තිබූ බව පොලිසිය කියයි.

පොලිසිය සැකකරු රැඳී සිටි මාලබේ නිවෙස වටලන අවස්ථාවේදී තාප්පයෙන් පැන පලා යෑමට තැත් කිරීමේදී දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 40 හැවිරිදි සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බී. නන්දසිරි පොලිස් සැරයන්වරුන් වන (14847) ඉන්ද්‍රසිරි, (71385) සංජීව, කාන්තා පොලිස් සැරයන් (2015) දිලීපා මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වති.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *