Thu. Sep 19th, 2024

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් එක්දින තරගය අද (14 වැනිදා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පස්වරු 2.30ට ආරම්භ වනු ඇත. මෙම තරගයෙන් අනතුරුව ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය වනතුරු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර එක්දින තරගයක් නොපැවැත්වීමද විශේෂත්වයකි.

තරගාවලියේ පළමු සහ දෙවෙනි තරග ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් ජයග්‍රහණය කළ අතර තරගාවලියේදී දක්නට ලැබූ පිතිකරුවන්ට උචිත තණතීරු පිළිබඳව ප්‍රේක්ෂකයන් සහ ක්‍රීඩකයින් ප්‍රංශසා කිරීමද දක්නට ලැබුණි. නිමා වූ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරුවන්ට උචිත තණතීරු මත නිසියාකාරව ක්‍රීඩා නොකිරීම දැඩි ලෙස විවේචනයට ලක් වීමේ ප්‍රතිපලයක් ලෙස සාම්ප්‍රදායික දඟ පන්දුවට වඩා උචිත තණතීරු වෙනුවට පිතිකරුවන්ට සහ වර්තමාන ක්‍රිකට් ලොවට වඩා උචිත තණතීරු සැකසීම හැඳින්විය හැක.

කවදත් ශ්‍රී ලංකාවේ අනෙක් ක්‍රීඩාංගණයන්ට සාපේක්ෂව පිතිකරුවන්ට වැඩි වාසියක් ගෙන දුන් පල්ලේකැලේ තණතීරුව පළමු තරග දෙක පුරාවට වෙනදාටත් වඩා වැඩි වාසියක් පිතිකරුවන්ට ලබා දෙන ආකාරය දක්නට ලැබුණි. මෙවන් තණතීරුවක තරගයක් ජයග්‍රහණය කිරීම සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන ‘පන්දු රැකීම’ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ දුර්වල අංගයක්ව තිබීම හේතුවෙන් නිමා වූ තරග පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය. බොහෝවිට අද තරගයේදීත් පිතිකරණයට වඩා උචිත තණතීරුවක් හිමි වනු ඇත. එමෙන්ම තරගාවලිය මේ වන විටත් ජයග්‍රහණය කර අවසන් බැවින් පැතුම් නිස්සංක විවේක ගන්වා ශෙවෝන් ඩැනියෙල්ට ඉඩක් ලබා දෙනු ඇතැයි විශ්වාස කළ හැක. එමෙන්ම එක් වේග පන්දු යවන්නෙක් විවේක ගන්වා චාමික කරුණාරත්න නැවත කැඳවීමේ ඉඩක්ද ඇත.

කාලගුණ වාර්තාවන්ට අනුව අද රාත්‍රියේ වලාකුළු ආවරණයක් පිටිය වටා දක්නට ලැබෙනු ඇති අතර රාත්‍රි 9 පමණ වන විට පින්න පතිත වීමටද ඉඩක් පවතී. මේ හේතුවෙන් දෙවන ඉනිමේ පළමු පන්දුවාර 20ක පමණ කාලයේදී පන්දුවේ වැඩි දෝලනයක් බලාපොරොත්තු විය හැක. එමෙන්ම අද දහවල් කාලයේත් වලාකුළු ආවරණයක් පල්ලේකැලේ අවට තිබෙනු ඇතැයි අනාවැකි පළ වී තිබීම හේතුවෙන් පළමු ඉනිමේ පන්දුවාර 20 – 25ක් පමණ වන තුරු වැඩි දෝලනයක් බලාපොරොත්තු විය හැක. කෙසේවෙතත් පළමු පන්දුවාර කිහිපයෙන් අනතුරුව පිතිකරුවන්ට පාරාදීසයක් බවට හැරවෙන මෙම තණතීරුවේදී කාසියේ වාසිය දිනා ගන්නා නායකයා පළමුවෙන් පන්දු යොමු කරනු ඇතැයි අනුමාන කළ හැක.

ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂිත කණ්ඩායම –

ශෙවෝන් ඩැනියෙල්, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ජනිත් ලියනගේ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුශාන්, අසිත ප්‍රනාන්දු

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *