Sun. Sep 8th, 2024

මගී ගුවන් යානාවලට විශාල අනතුරක් සිදු විය හැකි බැවින් රත්මලාන, කටුනායක, මත්තල ගුවන්තොටුපොළ ආශ්‍රිත කලාපයේ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන් තොටුපොළ පාලනාධිකාරිය පවසනවා.

මේ බව ජනතාවට දැනුම්දීම සඳහා ගුවන් තොටුපළ විසින් ජංගම රථයක් යොදවා තිබෙනවා.

THE CEYLON AIR NAVIGATION REGULATIONS, 1955 ගුවන් සංචරණ රෙගුලාසි 1955 පනතේ 248 වගන්තියට අනුව සරුංගලයක් හෝ කිසියම් ආකාශ වස්තුවක් ගුවන්ගත කරන්නේ නම් ඒ සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලිඛිත අනුමැතියක් තිබිය යුතු වෙනවා.

ගුවන් තොටුපොළ පාලනාධිකාරිය පවසන්නේ ගුවන් යානා නීතියට අනුව කිලෝමීටර් පහක ප්‍රමාණයක් ඇතුළත අඩි 300ක් හෝ ඊට ඉහළ ආකාශයේ සරුංගල් යැවීම සහ ඩ්‍රෝන යානා පා කිරීම තහනම් බවයි.

ගුවන් යානා ධාවනයේදී සරුංගල් පා කිරීමට ගන්නා ඝනකම් තංගුස් නූල ගුවන් කලාපයට විවෘත තර්ජනයක් වෙනවා.

ගුවන් යානාවල ආරක්ෂාවට මෙම නීති රෙගුලාසි පනවා ඇති අතර
මේ අගෝස්තු මාසය සරුංගල් මාසය වන බැවින් මේ දිනවල සරුංගල් සඳහා කඹ වැනි නූල් වර්ග භාවිත කිරීම ගුවන් යානාවලට ඇති කරන්නේ දැඩි අනතුරුදායක තත්ත්වයක්.

එම නිසා කටුනායක, මත්තල, යාපනය, මඩකලපුව අවට අහසේ සරුංගල් යෑවීමෙන් වළකින ලෙස පාලනාධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ගුවන් තොටුපොළ පාලනාධිකාරිය විසින් ප්‍රදේශ රැසක ජංගම ශබ්ද විකාශන රථ යොදවා සිදු විය හැකි අනතුර ගැන නිරතුරුව දැනුම්වත් කිරීම් සිදු කළ ද සරුංගල් යැවීම නිතර සිදු කරන බවයි ඔවුන් පවසන්නේ.

එම පාලනාධිකාරිය වැඩිදුරටත් පවසන්නේ මේ දැනුම්දීම ළමා සහ තරුණ පිරිසගේ විනෝදාස්වාදයක් වන සරුංගල් යැවීමට කිසිසේත්ම එරෙහි වීමක් නොවන බවත්, ගුවන් මගීන්ගේ ජීවිත පිළිබඳව පවතින අවදානම ගැන සිතා ගත් තීරණයක් බවයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *