Sun. Sep 8th, 2024

“Shi Yan 6” චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව කොළඹ වරායට පැමිණීම සඳහා අවසර ලබා දී ඇත්තේ එම නෞකාවට අවශ්‍ය සැපයුම් ලබාගැනීමට පමණක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ නෞකාවට ලබන 28 වන දින දක්වා කොළඹ වරායේ නැංගුරම් ලා තැබීමට අවසර ලබා දී ඇති බවය.

චීනයට අයත් “Shi Yan 6” පර්යේෂණ නෞකාව ඊයේ (25) පස්වරුවේ කොළඹ වරායට ළඟා වී තිබේ.

ඒ අනුව අදාළ නෞකාවට අවශ්‍ය ඉන්ධන ඇතුළු සැපයුම් ලබාගැනීම සඳහා කොළඹ වරායේ නැංගුරම්ලා තැබීමට ශ්‍රී ලංකා රජය විසින් අවසර ලබා දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

ඉන්දියන් සාගරයේ සිදුකරන පර්යේෂණ කටයුත්තක් සඳහා අදාළ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ඉල්ලා තිබු අතර ඊට මෙතෙක් අවසර ලබාදී නොමැති බව සඳහන්ය.

අදාළ නෞකාව නාරා ආයතනය සමග එක්ව සතියක පමණ කාලයක් ඉන්දියන් සාගරයේ ජලය පිළිබඳ විශේෂ පර්යේෂණයක් සිදුකිරීමට සැලසුම් කර තිබු බව නාරා ආයතනය පවසයි.

ඉන්දියන් සාගරය ආශ්‍රිතව සිදුවන කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් අධ්‍යයනයක් මෙම පර්යේෂණය මඟින් සැලසුම් කර තිබු බව වාර්තා වේ.

2010 වර්ෂයේ සිට අදාළ පර්යේෂණ කටයුතු සිදුකර ඇති අතර 2019 වර්ෂයේ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව එම කටයුතු තාවකාලිකව නතර වී තිබුණි.

කෙසේවෙතත් යළිත් මේ වසරේ දී එම පර්යේෂණ කටයුතු සිදුකිරීම සඳහා චීනය විසින් මෙම නෞකාව ශ්‍රී ලංකාවට එවීමට තීරණය කර තිබු අතර මීට පෙර අදාළ නෞකාව ඉන්දියන් සාගරයේ නැගෙනහිර ප්‍රදේශයේ පර්යේෂණ කටයුතු සිදුකර ඇති බව නාරා ආයතනය පවසයි.

යම් හෙයකින් පර්යේෂණ කටයුතු සඳහා චීන “Shi Yan 6” නෞකාවට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අවසර ලබා දුනහොත් ඊට සහභාගීවීමට නාරා ආයතනය සූදානමින් සිටින බව එහි ප්‍රකාශයෙකු සඳහන් කළේය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *