Sun. Sep 8th, 2024

විනෝදාස්වාදයෙන් සහ නිදහසේ කාලය ගතකිරීම සඳහා ලොකු කුඩා විශාල පිරිසක් දෛනිකව ගාලුමුවදොර පිටියට පැමිණෙයි.

ඉන් බහුතරයක්, එහි ඇති වීදි ආහාර රසවිඳින්නට අමතක කරන්නේ නැත.

කෙසේවෙතත් එම ආහාර නිසි ප්‍රමිතියකින් තොරව නිෂ්පාදනය කෙරෙන බවට ලද තොරතුරකට අනුව කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කොම්පඤ්ඤවීදිය සහ වොක්ෂෝල් වීදිය යන ප්‍රදේශවල එම ආහාර සකස් කරන ස්ථාන කිහිපයක හදිසි වැටලීමක් සිදුකර ඇත.

ඊට අද දෙරණ උකුස්සාද එක්විය.

අප එහි යන විටත් ඇතැම් ස්ථානවල ආහාර පිළියෙල කරමින් සිටියේ, අල්ප මාත්‍රයකවත් සෞඛ්‍යාරක්ෂිත බවක් නොමැතිවය.

එමෙන්ම ඉස්සෝ වඩේ නිෂ්පාදනය කිරීමට වර්ණක යොදන බවද මෙහිදී අනාවරණ විය.

හෝටල්වලින් ඉවතලන පොල්කුඩු, වඩේ සෑදීම සඳහා යොදා ගන්නා අයුරුත් මෙහිදී දැකගත හැකි විය.

පුස් බැඳුණු ලූනු, රොටී සෑදීම සඳහා භාවිත කරන බවද තහවුරු විය.

එලෙස සකස් කොට අලෙවියට සූදානම් කර තිබූ කකුළු වඩේ සහ රොටී තොගයක් ද මෙහිදී සොයාගත්තේය.

තවත් ස්ථානයක් පරීක්ෂා කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ට දැකගත හැකිවුණේ, හූනන් සහ කැරපොත්තන් සිටින ස්ථානයක කිසිදු පිරිසිදුකමක් නොමැතිව ආහාර පිළියෙල කරන අයුරුය.

එම වෙළෙඳසල් පවත්වාගෙන යන පුද්ගලයන්ට දැඩිව අවවාද කළ කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කර දැමීය.

මුදලට ලොබ බැඳ මිනිසුන් කන කෑමට පවා නිගරු කරන මෙවැනි ක්‍රියා ඉදිරියේදීත් රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා සීරුවෙන් සිටියි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *