Mon. Sep 16th, 2024

ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමේදී මෙරට උද්ධමන අනුපාතය සහ ජාතික පාරිභෝගික මිල දර්ශකය සැලකිල්ලට ගැනීමට නියමිතය.

ඉකුත් 2019 වසරේ නොවැම්බර් මාසයේදී අවසන්වරට ජනාධිපතිවරණය පැවැති අතර, ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය මේ වසරේ නොවැම්බර් මාසයේදීය.

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ පනතට අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන්වීමට මාසයකට පෙර ජනාධිපතිවරයා තෝරාපත්කර අවසන් කළ යුතුය. ඒ අනුව ජනාධිපතිවරණය සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස අතර වූ කාලයේදී පැවැත්වීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට පැවරේ.

මෙවර ජනාධිපතිවරණය පැවැත්වීමේදී 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන කිරීමේ පනතද සම්මත වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව, අදාළ අපේක්ෂකයා ඡන්දදායකයෙකු වෙනුවෙන් වැයකළ යුතු මුදල තීරණය කරනු ලබන්නේ මැතිවරණ කාලසීමාවේ රටේ උද්ධමනය සහ ජාතික පාරිභෝගික මිල දර්ශකය සැලකිල්ලට ගනිමිනි.

නාමයෝජනා භාරදීමේ කාලසීමාව අවසන්වීමෙන් පසුව දින පහක කාලයක් ඇතුළතදී මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් විමසා අදාළ මුදල තීරණය කරන්නේය. මෙහිදී ජනාධිපතිවරණයකදී නම් දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන සෑම අපේක්ෂකයෙකුගෙන් අදාළ විමසීම් සිදුකළ යුතුය.

මෙහිදී අදාළ මැතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නියම කරන යම් මුදලකින් දිවයිනේ මැතිවරණ කොට්ඨාසවල ලියාපදිංචි සමස්ත ඡන්දදායකයන් සංඛ්‍යාව ගුණකර ලැබෙන මුදල අදාළ අපේක්ෂකයා විසින් වැයකළ යුතුය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *