Mon. Sep 16th, 2024

දකුණු පළාතට ඊයේ (22) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පාසල් කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අකුරැස්ස, දෙණියාය, මුලටියන සහ වලස්මුල්ල යන ප්‍රදේශවල බලපෑම් එල්ල වී ඇති පාසල් පමණක් වසා දැමීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය පැවරූ බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.

ඇතිවු හදිසි ආපදා තත්ත්වය මත දෙණියාය අධ්‍යාපන කලාපයේ සියලූම පාසල් දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව අද (23) දින නිවාඩු ලබාදුන් බව දෙණියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.

මේ අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මාතර – කොටපොල මාර්ගය කිරිලිපන ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව වාර්තා වේ.

කිරිලිපන ප්‍රදේශයෙන් මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස අවහිර වී ඇති අතර එම ප්‍රදේශය හරහා කුඩා වාහනයක් හෝ ගමන් කිරීමට නොහැකි බව “අද දෙරණ” වාර්තාකරුවන් සඳහන් කළේය.

මොරවක – නෙළුව මාර්ගය ද මොරවක නගරයෙන් අවහිර වී ඇති අතර කිරම ඔය පිටාර ගැලීම හේතුවෙන් පිටබැද්දර ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබේ.

මේ අතර නිල්වලා ගංගා ද්‍රෝණියේ ඉහළ හා මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ප්‍රදේශ කිහිපයකට ඉදිරි 24 තෙක් කාලය තුළ පහත සඳහන් ප්‍රදේශවලට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

කොටපොල, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට එම අනතුරු ඇඟවීම බලපැවැත්වේ.

මේ පිළිබඳව දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *