Mon. Sep 16th, 2024

කීර කොටුවල සේවය කරනා කාන්තාවන්ට සහ කුඹුරු වැනි මඩ සහිත භූමි ප්‍රදේශවලට සරුංගල් යැවීමට යන කුඩා දරුවන්ට මී උණ වැලඳීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය තුෂානි දබරේරා පැවසුවාය.

ඊයේ (18දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මී උණ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේදි ඇය මේ බව අවධාරණය කළාය.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මේ වන විට මී උණ වැලඳීමේ වැඩි ප්‍රවණතාවක් ඇති අතර මේ වසරේ ගත වූ කාලය තුළ මී උණ රෝගීන් හත්දහසක් (7000) ක් වාර්තා වී තිබේ.

එමෙන්ම මරණ එකසිය විසිපහක් මේ වන විට වාර්තා වී ඇත.

ගම්පහ,කුරුණෑගල,ගාල්ල මාතර යන ප්‍රදේශවල මී උණ වැඩි වශයෙන් ව්‍යාප්ත වන බවත් රත්නපුර දිස්ත්‍රික්කයේ පතල් ආශ්‍රිතව සේවය කරනා පුද්ගලයන්ට අතර මී උණ වැලඳීමේ වැඩි අවදානමක් ඇති බවත් විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.

උණ,මස් පිඬු වේදනාව, ඇස් කහ පැහැ ගැන්වීම වැනි රෝග ලක්ෂණ දින තුනකට වඩා වැඩි කාලයක් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසද විශේෂඥ වෛද්‍යවරිය ජනතාවට දැනුම් දෙයි.

එසේම ගංවතුර හේතුවෙන් මේ වනවිට බොහෝ ප්‍රදේශවලින් මී උණ රෝගීන් වාර්තා වූ බවද සෞඛ්‍ය අංශ පවසයි.

තවද වාර්තා වන මී උණ රෝගීන්ගෙන් සියයට පහක ප්‍රමාණයක් නිසි වේලාවට ප්‍රතිකාර නොගැනීම නිසා මිය යන බවද විශේෂඥ වෛද්‍ය තුෂාරි දබරේරා මෙහිදී සඳහන් කළාය.

තවද කුඹුරුවල ඇති ජලය පානය කිරීමෙන් සහ මුහුණ සේදීමෙන් වළකින ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.

කුඹුරුවල අස්වැන්න නෙළීමේ කටයුතු සිදුකරනා කාලය තුළ සති දෙකකට වරක්වත් මී උණ සඳහා ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ අදාළ පුද්ගලයන් විසින් ලබා ගැනීම සිදුකළ යුතු බවත් එම ඖෂධ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ලබාගත හැකි බවත් මෙම මාධ්‍ය හමුවේදි අදහස් දක්වමින් ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රකාශ කළාය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *