Mon. Sep 16th, 2024

දරුවන් 17 දෙනකු මෙලොවට බිහි කළ උදාර මාතාවක් දිඹුලාගල මලියදේවපුර ප්‍රදේශයේ දී මිය ගියාය.

ඇය පොළොන්නරුව දිඹුලාගල මලියදේවපුර ලිපිනයේ පදිංචිව සිටි දියණිවරුන් හත් දෙනකු සහ පුතුන් 10 දෙනකු වැදූ හැදූ ඇය එස්. පූමනි මාතාව වූවාය.

පූමනි මාතාව දහතුන් වන වියේ දී විවාහ වී ඇති අතර ඇය බිහිකළ දරුවන් දාහත් දෙනාගෙන් තිදෙනකු මේ වන විට මියගොස් ඇත.

දිඹුලාගල පරණ මිල්ලානේ පදිංචිව සිටි ඊ.ඩී. විමලදාස මහතා සමග මීට වසර 75 කට පෙර පූමනි මහත්මිය විවාහ වී ඇති අතර 1990 වර්ෂයේ දී මියගියේය.

මෙම මාතාව දරුවන් දාහත් දෙනාම දිඹුලාගල පරණමිල්ලාන ගම්මානයේ නිවස තුළම බිහිකිරීම විශේෂත්වයක් වන අතර ඇය දීර්ඝ කාලයක් වින්නඹු මාතාවක ලෙස ද කටයුතු කළාය. එමෙන්ම ඇයට මුනුපුරු මිනිපිරියන් සිය දෙනෙකි.

ඇයගේ දරුවන් අත‍රින් කීප දෙනෙක් යුද හමුදාවේත්, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේත්, මාර්ග සංවර්ධන අධිකාරියේත් සේවය කරයි. සෙසු දරුවෝ ගොවි ගෙවිලියෝ වෙති.

පූමනි මාතාව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනසේ සඟරුවනගේ සිවුරු සෝදමින් කටයුතු කළ අතර බොහෝ විට රෝගී භික්ෂූන් වහන්සේලාට වෙදහෙදකම් ද කළාය.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන දායිකාවක් වූ පූමනි මහත්මියගේ අවසන් කටයුතු ඊයේ (16) පස්වරුවේ සිදුකෙරුණු අතර එම අවස්ථාවට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලාත්, පොලොන්නරුව ප්‍රදේශයෙන් භික්ෂූන් වහන්සේලාත්, දෙසීය නමකට ආසන්න පිරිසක් වැඩම කර ඇයට අවසන් ගෞරව දක්වා පාංශුකූල දී පැන්වැඩීම ද විශේෂත්වයක් විය.

මෙහිදී අනුශාසනාවක් කරමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පාලනාධිකාරි මහනුවර විචිත්‍රලංකාර නාහිමියන් සඳහන් කළේ පූමනි මාතාව සමස්ත ලංකාවටත්, ලෝකයටත්, පූර්වාදර්ශයක් දුන් වීර මාතාවක් බවත්, පොලොන්නරුවේ මෙන්ම දිඹුලාගල ඉතිහාසයේ වැඩිම දරුවන් පිරිසක් නිවස තුළ බිහි කළ පූමනි මාතාව පූජනීයත්වයට සහ ඉතිහාසගත වන මාතාවක් බවයි.

ඈත අතීතයේ කිසිදු පහසුකමක් නොමැති යුගයක මෙතරම් දරු පිරිසක් හදා වඩා අධ්‍යාපනය ලබා දී රටට යහපත් පුරවැසියන් පිරිසක් බවට පත් කිරීම වර්තමානයේ මවුවරුන්ට ලබාදෙන ආදර්ශයක් බව ද උන්වහන්සේ සිය අනුශාසනාවේ දී සඳහන් කළහ.

පූමනි මාතාවගේ දරු පවුලේ අටවැනියා වන හතළිස්පස් හැවිරිදි ඊ. ප්‍රියන්ති මහත්මිය පැවසුවේ තම මව දරු, දැරියන් දහහත් දෙනකු නිවස තුළ බිහි කරමින් විශාල කටුක ජීවිතයක් ගත කරමින් පළාතේ ගම් රැසකට අතීතයේ දිගු කලක් වින්නඹු මාතාවක ලෙස ද කටයුතු කර ඇති බවයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *