පොහොර මිල දී ගන්න රුපියල් මිලියන 12,000ක් ගොවි ගිණුම්වලට.

මෙවර මහ කන්නයට පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 12,000ක් ගොවි ගිණුම්වලටම බැර කිරීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, එම මුදල් හෙක්ටයාර් 01කට රුපියල් 15,000ක් බැගින් ලබාදීමට නියමිත බවය.

එම මුදලින් ගොවින්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට හැකියාව ලැබේ.

ඊයේ (20) දිවයින පුරා සිටින ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල නියෝජනය කරන දිස්ත්‍රික්ක 25ම සභාපතිවරු සමග කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

එහිදී සභාපතිවරු විසින් එක් එක් දිස්ත්‍රික්කවලට ඇති ගොවි ගැටලු ප්‍රකාශ කර ඇති අතර රජය වශයෙන් එම ගැටලු විසඳීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග අමාත්‍යවරයා පැහැදිලි කර ඇත.

මේ වනවිට පොහොර සම්බන්ධව පවතින තත්ත්වය පැහැදිලි කළ අමාත්‍යවරයා බණ්ඩි පොහොර හා යුරියා පොහොර දැනටමත් අවශ්‍ය ප්‍රමාණයට රජය සතුව තිබෙන අතර මුලික පොහොර හෙවත් මඩ පොහොර පුද්ගලික අංශය විසින් සැපයීමට නියමිත බව ද සඳහන් කර තිබේ.

එමෙන්ම මෙවර ද යුරියා පොහොර මිටියක් රුපියල් රුපියල් 9000ක මුදලට රාජ්‍ය අංශයේ පොහොර සමාගම් මඟින් ලබාදෙන අතර එම මිලටම යුරියා පොහොර ගොවීන් වෙත ලබාදීමට පුද්ගලික අංශය ද එකඟත්වය පළ කර ඇත.

මෙහිදී අදහස් පළ කළ ගොවි නියෝජිතයින් වී සඳහා උපරිම මිලක් ලබා දෙන ලෙසත්, ගොවි ජනතාවට සහනාධාර අවශ්‍ය නැති බවත් ප්‍රකාශ කර තිබේ.

සියලුම ගොවි සංවිධාන එක තීරණයක් ගෙන පොහොර සහනාධාරය අවශ්‍ය නොමැතිබව ප්‍රකාශ කරන්නේ නම් එම මුදල් යොදවා වී මිල දී ගැනීමටත්, වී සඳහා ඉහළම මිලක් ලබා දීමටත් හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *