Thu. Sep 19th, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ පෞද්ගලික මෝටර් රථය ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ පොලිස්පතිතුමාගේ නියෝග අනුව එම තීරණය ගෙන ඇති බවය.

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් පිරිසක් විසින් වෙඩිතබා පළාගොස් තිබුණි.

ඊයේ (17) රාත්‍රී 10.35 පමණ මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිටදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්ය.

මන්ත්‍රීවරයා කිසියම් කටයුත්තක් සඳහා නිවසින් බැහැරට ගොස් යළි නිවස වෙත පැමිණි අවස්ථාවේ දී එම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණි.

මෙහිදී මන්ත්‍රීවරයා පමණක් මෝටර් රථයේ සිට ඇති අතර ප්‍රහාරයෙන් ඔහුට කිසිදු හානියක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කළේය.

මෝටර් රථයේ වම්පැත්තේ පිටුපස අසුන ප්‍රදේශයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී තිබුණි.

වෙඩිතැබීම සඳහා පැමිණි සැකකරු හෝ සැකකරුවන් හඳුනාගෙන නොමැති අතර, ඔවුන් කාර් රථයකින් පැමිණ ඇති බවටත් වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවත් පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ අනුරාධපුර මුලස්ථාන පොලීසිය, කොට්ඨාස අපරාධන විමර්ශන අංශය ඇතුළු කණ්ඩායම් කිහිපයක් විමර්ශන කටයුතු සිදුකරයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *