රථ වාහන වැරදි සිදුකළ වාහන 610ක් CCTV මගින් හඳුනා ගනී.

සීසීටීවී ආරක්ෂිත කැමරා යොදා ගනිමින් රථ වාහන වැරැදි හඳුනාගැනීමේ ක්‍රමවේදය යටතේ ගෙවුණු සතියක කාලයේදී රථවාහන වැරැදි 610 ක් හඳුනාගත් බව පොලිස් සීසීටීවී කොට්ඨාසය පවසයි.

කොළඹ නගරයේ මංමාවත්වල සවිකර ඇති සීසීටීවී කැමරා මගින් රථවාහන වැරැදි හඳුනාගැනීමේ වැඩසටහන වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මූලිකත්වයෙන් ඉකුත් 22 වැනිදා ආරම්භ කෙරිණි. 

එම වැඩසටහන ආරම්භ කර අද (29) දින වන විට සතියක කාලයක් ගෙවී අවසන් වී ඇති අතර ඊයේ දින වන විට කොළඹ නගරයේ රථවාහන වැරැදි කළ රියැදුරන් 610 දෙනකු හඳුනාගැනීමට පොලිස් සීසීටීවී කොට්ඨාසයට හැකිව තිබිණි. 

මංතීරු මාරු කර රිය ධාවනය, විදුලි ආලෝක සංඥාවලට අනුව ධාවනය නොකිරීම, නැවතිය නොහැකි ස්ථානවල රථවාහන නැවැත්වීම, රතු දැල්වී තිබියදී ධාවනය කිරීම ඇතුළු රථවාහන වැරැදි මෙහිදී නිරීක්ෂණය කරයි.  

මෙම වැඩසටහනේ මූලික පියවර ලෙස ආරම්භ කළ නියමු වැඩසටහන යටතේ වැරැදි කළ රියැදුරන්ට අවවාද කිරීම සිදුකෙරුණු අතර එළැඹෙන පළමුවැනිදා සිට දඩ කොළ නිකුත් කිරීමට නියමිත බව පොලිස් සීසීටීවී කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති තුෂාර ගමලත් පැවසීය. 

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *