Fri. Sep 20th, 2024

ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 2277 දෙනෙකු සඳහා වැටුප් අතිකාල දීමනා දිරිදීමනා ලෙස රුපියල් කෝටි 320 කට වැඩි මුදලක් පසුගිය වර්ෂයේදි ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

රජයේ ඒකාබද්ධ අරමුදලෙන් රුපියල් කෝටි 214 කට වැඩි මුදලක්ද රේගු අතිකාල නැව්බඩු පරික්ෂා කිරීමේ ගාස්තු හා තොරතුරු තාක්ෂණ සන්නිවේදන අරමුදලෙන් රුපියල් කෝටි එකසිය හයකට වැඩි මුදලක්ද වශයෙන් මෙම මුදල් ගෙවීම් කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

කෙසේ වෙතත් එම වියදම තහවුරු කිරීමේ සාක්ෂිය වන සේවයට වාර්තා කළ බව සනාථ කෙරෙන ඇඟිලි සලකුණු වාර්තා විගණනයට ඉදිරිපත් කර නොතිබුණේ යැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

රේගුවේ අංශ හතරක සේවකයන් සති අන්ත සහ රජයේ නිවාඩු දිනයන් ද සහිතව සෑම දිනකම සේවයට වාර්තා කර තිබූ බව පැමිණීමේ සහ පිටවීමේ ලේඛන අතිකාල ලේඛන සහ නිවාඩු ලේඛන පරීක්ෂාවේදී පෙනී ගියේ යයි එහි සඳහන් වේ.

මෙම සේවකයන් දිනකට පැය විසි හතරක් දක්වා අතිකාල දීමනා ලබා ගෙන ඇති අතර පැමිණීම සහ පිටවීම පිළිබඳව නිසි සනාථ කිරීමකින් තොරව ඉහත ගෙවීම් කරන බව විගණන නිලධාරීන් නිරික්ෂණය කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා රේගුවට විවිධ ආයතනවලින් අයවීමට ඇති හිඟ බදු ප්‍රමාණය රුපියල් කෝටි 2323 කට අධික බව පවසන විගණන වාර්තාව සමස්ත හිඟ බදු ආදායමෙන් රුපියල් කෝටි 1607 ක් නියෝජනය කරනු ලබන්නේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු බවද සඳහන් කරයි.

ඉන් රුපියල් කෝටි 1606 කට වැඩි මුදලක් 2019 වර්ෂය හා ඊට පෙර වර්ෂවල සිට පැවත එන හිඟහිට ආදායම වන අතර එම හිඟ ආදායම් 2022 වර්ෂය අවසානය වන තෙක් අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බව විගණන වාර්තාවේ දැක්වේ.

මේ අතර ත්‍යාග අරමුදලින් ත්‍යාග මුදල් බෙදා හැරීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ එකඟතාවය ගෙන ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කළ යුතු වුවත් එසේ අමාත්‍යවරයාගේ එකඟතාවය ලබා ගැනීමෙන් තොරව 1999 වසරේ සිට 2022 වර්ෂය දක්වා වසර විසිතුනකදී ත්‍යාග අරමුදල් ලෙස නිලධාරීන්ට රුපියල් කෝටි 2087 ක්ද ඔත්තුකරුවන්ට රුපියල් කෝටි 314 ක්ද ලබාදී තිබු බව වාර්තාවේ සඳහන්වේ.

මේ අතර වාහන එකලස් කරන සමාගම් දෙකක් එකලස් කරන වාහන සඳහා දෙන සියයට 70 ක බදු සහනය ගනිමින් 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා රුපියල් කෝටි 719 ක නිෂ්පාදන බදු ගෙවීම් පැහැර හැර තිබූ බව විගණන කාර්යාලය පවසයි.

විදේශීය පෞද්ගලික ආයතනයක් සිංගප්පූරුවේ නැව්ගත කර තිබූ දුම්වැටි තොගයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විමර්ශනයක් පවත්වා ප්‍රති නැව්ගත කිරීමට නියෝග කර තිබූ අවස්ථාවක එහි නිලධාරීන් පිරිසක් මතභේදාත්මක ලෙස මෙම දුම්වැටි තොගය වෙන්දේසි කර විකුණා රුපියල් ලක්ෂ පනස් නවයකට වැඩි මුදලක් උපයා ගෙන තිබූ බව පවසන විගණන කාර්යාලය මෙම වැරදි තීරණය හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවට එම අලාභය ගෙවීමට සිදුවීමෙන් අත් වූ පාඩුව රුපියල් කෝටි 7කට ආසන්න බව සඳහන් කරයි.

මෙම විමර්ශනයට අදාළ ගොනුව අස්ථානගත වී ඇති බවට ශ්‍රී ලංකා රේගුව වාර්තා කළේ යැයිද එම ක්‍රියාවට වගකිවයුතු නිලධාරීන්ට රේගු බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොතිබුණේ යැයිද විගණන වාර්තාව සඳහන් කරයි.

මේ අතර පොල් තෙල් ආනයනය කර එකතු කර ප්‍රති අපනයනය කිරීම සඳහා රේගුවේ ලියාපදිංචි කෙරුණු සමාගම පොල්තෙල් ප්‍රති අපනයනය නොකර වසර ගණනාවක සිට දේශීය වෙළඳපොළට අලෙවි කිරීමෙන් රජයට බදු ආදායම් අහිමි කර තිබූ බව වාර්තාවේ දැක්වේ.

එම සමාගම දේශීය වෙළඳපොළට එසේ නීති විරෝධීව අලෙවි කර ඇති පොල් තෙල් ප්‍රමාණය කිලෝග්‍රෑම්463065 ක් බවත් සමාගම මේ අනුව අහිමිකළ බදු ආදායම රුපියල් කෝටි පනහකට ආසන්න බවත් විගණන කාර්යාලය පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා රේගුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *