Thu. Sep 19th, 2024

ලෝක තරුණ ප්‍රජාවම ප්‍රේමය වෙනුවෙන් වැලන්ටයින් දිනය සැමරූ ඊයේ (14) දින ප්‍රේමය වෙනුවෙන් සිත් තැවුලට පත්ව සිය දිවි හානි කරගත් තරුණ පෙම්වතකු පිළිබඳ පුවතක් රක්වාන පොලිසියෙන් ඊයේ (14) වාර්තා විය.

මෙසේ සිය නි‍ෙවසේදී ගෙල වැලලාගෙන මියගොස් ඇත්තේ රක්වාන, ඩෙල්වින්වත්ත “ඒ” කොටසේ පදිංචිව සිටි සත්‍යසීලන් අරවින්ද් ප්‍රසාද් නමැති විසිඑක් හැවිරිදි තරුණයෙකි. ඔහු වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියැදුරෙකි.

රක්වාන කොට්ඨාසයේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක ඩී.එම්.ආර්.එල්. බණ්ඩාර මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ දේහය පිළිබඳ මූලික පරීක්ෂණ කටයුතු පැවැත්වීය. මෙහිදී අනාවරණය වූයේ මියගිය තරුණයාගේ මව විදේශගත රැකියාවක නිරත වී සිටින අතර, පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වන බවත්, මොහු තවත් සහෝදර සහෝදරියන් දෙදෙනකු සමඟ නි‍ෙවසේ පදිංචිව සිට ඇති බවත්ය.

මේ හදිසි මරණය සම්බන්ධයෙන් මියගිය තරුණයාගේ ඥාතියකු පැවසුවේ මොහු ඇන්දානෙ ප්‍රදේශයේ තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත්, සිද්ධිය වූ දිනට පෙර දින (13) රාත්‍රියේ සිය පෙම්වතිය සමඟ බොහෝ වේලාවක් දුරකතනයෙන් කතා බහ කරමින් සිට ඇති බවත්ය.

ඒ කෝල් එකෙන් පස්සේ අයියා මහා හයියෙන් හඬා වැලපුණ බවත්, හෙටට යෙදී ඇති වැලන්ටයින් දිනය සැමරීමට රක්වානට පැමිණෙන ලෙස අයියා පෙම්වතියට කිහිප වරක්ම ආරාධනා කරන අයුරු තමාට ඇසුණු බවත්, ඊට ඇය අකමැත්ත පළ කර ආදර සබඳතාවද නවතා දමන බව පවසන අයුරු තමාට ඇසුණු බවත් මියගිය තරුණයාගේ සහෝදරියක කියා සිටියාය.

රාත්‍රියේ ආහාරයට බෙදා තිබූ බත් පිඟානද ඔහුගේ කාමරයේ මේසයක් මත තිබුණි. මියයාමට පෙර මේ තරුණයා බ්ලේඩ් එකකින් සිය අතක්ද කපාගෙන තිබූ අයුරු මරණ පරීක්ෂකවරයා නිරීක්ෂණය කළේය.

මේ මරණය සිය දිවි නසා ගැනීමක් බවට සැක කරන බව පැවසූ හදිසි මරණ පරීක්ෂකවරයා, පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට දේහය කහවත්ත මූලික රෝහලට යොමු කරන ලෙස නියෝග කළේය. පො.සැ. (15766) සේනාරත්ත මහතා සාක්ෂි මෙහෙයවීය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *