විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි 08ක පාඩුවක්.

අයථා ලෙස විදුලිය ලබාගැනීම් හේතුවෙන් මාස 08ක් තුළ රුපියල් කෝටි 08කට ආසන්න මූල්‍ය අලාභයක් සිදු ව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබේ.

ඇතැම් පුද්ගලයන් විසින් විදුලි මීටර් වෙනස් කිරීම් සහ විවිධ උපකරණ යොදාගනිමින් අයථා ලෙස විදුලිය ලබාගැනීම් මඟින් අදාළ පාඩුව සිදු ව ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි.

මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ එලෙස විදුලිය ලබාගැනීම් හේතුවෙන් රුපියල් හත්කෝටි අනූ ලක්ෂ හැත්තෑ හතර දහස් අටසිය පනස් හතක මූල්‍ය පාඩුවක් මණ්ඩලයට සිදු ව තිබේ.

විදුලි මීටර් වෙනස් කිරීම් සම්බන්ධයෙන් ගත වූ මාස අටක කාලය තුළ වැටලීම් 1,041ක් සිදු කර ඇති අතර, එමඟින් ලංකා විදුලිබල මණ්ඩලයට හත්කෝටි හැට හතර ලක්ෂ විසි හත්දහස් හයසිය හතළිස් නවයක අලාභයක් සිදු ව ඇති බව සඳහන්ය.

ඊට අමතර ව විදුලි රැහැන්වලට විවිධ උපකරණ සවිකර විදුලිය ලබාගැනීම් සම්බන්ධයෙන් වැටලීම් 81ක් සිදු කර ඇති අතර, ඉන් රුපියල් විසි හය ලක්ෂ හතළිස් හත්දහස් දෙසිය හතක අලාභයක් සිදු ව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

අදාළ පුද්ගලයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ගෙන් රුපියල් තිස් හය ලක්ෂ අනූ පන්දහස් පන්සියයක මුදලක් දඩ වශයෙන් අය කරගෙන ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *