Thu. Sep 19th, 2024

ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රජාවන්ගේ සහ පාසල් සිසුන්ගේ සූදානම් මට්ටම පරීක්ෂා කිරීම සඳහා කලාපීය සුනාමි සමාකරණ අභ්‍යාසයක් හෙට (04) පැවැත්වෙයි.

නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා ඒ බව අද (03) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

මේ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති ජාතික මට්ටමේ සිට ගම් මට්ටම දක්වා වූ සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් දැනුම්දීමේ යාන්ත්‍රණ ඇගයීමේ අරමුණ ඇතිව මෙම අභ්‍යාසය කරන බව නියෝජ්‍ය කථානායකවරයා පැවසීය.

එසේම වෙරළබඩ දිස්ත්‍රික්ක නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුම්වත් කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉල්ලීමක් කර ඇති බවද නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.

මේ අතර, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 26,000කට ආසන්න වී තිබේ.

වර්ෂාව හේතුවෙන් රත්නපුර, කෑගල්ල, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව සඳහන්ය.

ඒ අනුව, එම දිස්ත්‍රික්කවල පවුල් 6,250කට අයත් පුද්ගලයින් 25,863 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ වනවිට පූර්ණ නිවාස හානි 2ක් සිදුව ඇති අතර නිවාස 453කට අර්ධ හානි සිදුව තිබේ.

කෙසේවෙතත් මේ වනවිට ආරක්ෂිත ස්ථාන 3ක පවුල් 31කට අයත් පුද්ගලයින් 124 දෙනෙකු රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *