Thu. Sep 19th, 2024

විදේශිකයෙකු (expatriate) යනු ඔවුන්ගේ පුරවැසිභාවය ඇති රට හැර වෙනත් රටක ජීවත් වන හෝ වැඩ කරන පුද්ගලයෙකි. මෙම විධිවිධානය බොහෝ විට තාවකාලික වන අතර ඔහුගේ වැඩ හේතූන් මත විවිධ වේ. විදේශිකයෙකුට වෙනත් රටක පුරවැසියෙකු වීමට තම මව් රටේ පුරවැසිභාවය අත්හැරිය පුද්ගලයෙකු ද විය හැකිය. එලෙස විදේශිකයෙකු හට ජීවත්වීමට සහ රැකියාවේ යෙදීමට සුදුසුම රාජ්‍යයන් 05 පිළිබඳව මෙම ලිපියෙන් අවධානය යෙමු කෙරේ.

ස්විට්සර්ලන්තය

සාමාන්‍ය විදේශික වැටුප: ඇමරිකානු ඩොලර් 209,000 (රුපියල් 62,700,000)

ස්විට්සර්ලන්තය භූමි ප්‍රමාණයෙන් කුඩා වුවද එය ව්‍යාපාර, මූල්‍ය සහ වාණිජ අංශයන්ගේ බලාගාරයක් ලෙසට ගෝලීය වශයෙන් ප්‍රසිද්ධය. ස්විට්සර්ලන්තය වෙත සංක්‍රමණය වන විදේශිකයන් ඔවුන්ගේ වාර්ෂික ඉපැයීම්වල විශාල ඉහළ යාමක් නිතිපතා වාර්තා කරන අතර සමහරු අනෙකුත් යුරෝපීය රටවල ඔවුන්ගේ වැටුප් හා සසඳන විට ක්ෂණික 50% වැටුප් වැඩිවීම් පවා වාර්තා කරයි.

ස්විට්සර්ලන්තයේ ජීවන තත්ත්වය

ලෝකයේ 6 වැනි ඉහළම දළ දේශීය නිෂ්පාදිතය සහිත රාජ්‍ය වන ස්විට්සර්ලන්තය වෙත බොහෝ විදේශිකයන් පැමිණෙන්නේ එහි පවතින ඉහළ වැටුප් තලයන් හේතුවෙනි. එපමණක් නොව එහි පවතින නැවුම් ඇල්පයින් වාතාශ්‍රය, ඉහළ මට්ටමේ සුඛෝපභෝගී භාණ්ඩ, ශීත දේශගුණික ක්‍රියාකාරකම් බහුල වීම, පළමු පන්තියේ ප්‍රවාහන පහසුකම් ඇතුළු සහ උසස් මානව ජීවන තත්ත්වයන් මෙම රාජ්‍ය වෙත විදේශිකයන් ආකාරෂණය කරගැනීමේ සාධකයන් ලෙස කටයුතු කරයි.

ස්විට්සර්ලන්තයේ පවතින ලිහිල් දේශපාලන වාතාවරණය විදේශිකයන් හට එහි පදිංචි වීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය කරයි. ගෝලීය තත්ත්වයන් තුළදී මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන මෙම රාජ්‍ය ඉහළ දේශපාලන හා සමාජ ස්ථාවරත්වයකින් පවත්වාගෙන යනු ලබයි. එය ආදායම් බෙදීයාමේ අසමානතාව ගණනය කරන Gini සංගුණකය තුළ 0.299 ක අගයක් වාර්තා කරන අතර එය අනෙකුත් බොහෝ යුරෝපීය රටවලට වඩා බෙහෙවින් අවම ප්‍රමාණයකි. ස්විට්සර්ලන්තයේ ප්‍රධාන භාෂාව ස්විස් ජර්මානු භාෂාව වන අතර රාජ්‍යයේ 62% එය භාවිත කරයි. නමුත් ස්විට්සර්ලන්ත ජනතාවගෙන් 45%ක් ඉංග්‍රීසිත් භාෂාවත්, 22%ක් ප්‍රංශ භාෂාවත් 08% ඉතාලි භාෂාව ද චතුර ලෙස කතා කරයි.

ස්විට්සර්ලන්තයේ ජීවත් වීමට ඇති එකම අවාසිදායක තත්ත්වය එහි ජීවන වියදම ඉතා ඉහළ මට්ටමක පැවතීමයි. ජිනීවා, සූරිච් සහ බර්න් වැනි යුරෝපයේ වඩාත්ම මිල අධික නගර හතරෙන් තුනක් ස්විට්සර්ලන්තයේ පිහිටා ඇත. කෙසේ වෙතත් ස්විට්සර්ලන්තයේ විදේශිකයෙකු හට හොඳ වැටුපක් අපේක්ෂා කළ හැකි අතර එමඟින් ජීවන වියදම වඩාත් හොඳින් කළමනාකරණය කළ හැකිය.

මැලේසියාව

සාමාන්‍ය විදේශික වැටුප: ඇමරිකානු ඩොලර් 18,000 (රුපියල් 5,400,000)

විදේශිකයන් වෙනුවෙන් මැලේසියාවේ වැටුප් බටහිර ජාතීන්ට වඩා අවම වුවද එහි අගනුවර වන ක්වාලාලම්පූර්හි ඉහළ වැටුප් සහිත රැකියාවක් සොයා ගැනීමට අවශ්‍ය තරම් අවස්ථාව තිබේ. ඔබ මැලේසියාවට ඩිජිටල් නාමිකයෙකු ලෙස පැමිණෙන්නේ නම්, ඔබට ඉතා උසස් ජීවන තත්ත්වයකින් ප්‍රතිලාභ අපේක්ෂා කළ හැකිය. මේ වන විට, මැලේසියාව ඉතා අඩු ජීවන වියදමක් සහිත රාජ්‍යයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත. එබැවින් විදේශිකයෙකු ලබන විදේශ වැටුප ප්‍රමාණවත් වන අතරම එමගින් සුඛෝපභෝගී ලෙස ජීවත් වීමට ඉඩකඩ සලසයි.

මැලේසියාවේ ජීවන තත්ත්වය

මැලේසියාවේ ජීවන තත්ත්වය සම්බන්ධයෙන් ගත් කල අග්නිදිග ආසියානු කලාපීය අසල්වැසි රාජ්‍යයන්ට වඩා ඉදිරියෙන් සිටී. මැලේසියාව ආර්ථික නිදහස සඳහා ලෝකයේ 42 වන ස්ථානයට පත්ව ඇති අතර බෙල්ජියම, ස්පාඤ්ඤය සහ ප්‍රංශයට වඩා එය ඉදිරියෙන් සිටී. මැලේසියාව ව්‍යාපාර සඳහා එහි ලිබරල් ප්‍රවේශය සහ ශක්තිමත් යටිතල පහසුකම් වලට ද ප්‍රසිද්ධියක් උසුලයි.

මැලේසියාවේ විදේශිකයෙකු ලෙස ගවේෂණය කිරීමට නව ලෝකයක් සොයා ගත හැකිය. ඓතිහාසික විහාරස්ථානවල සිට සුන්දර වෙරළ තීරයන් සහ වසර පුරා ක්‍රියාත්මක මනරම් කාලගුණය, ඊට අමතරව අපූරු දේශීය ආහාර පිසීම, ප්‍රධාන නගරවල කාර්යබහුල රාත්‍රී ජීවිතය වැනි සුවිශේෂිතා දැකිය හැකිය. මේ සියල්ල මැලේසියාවේ ජීවත්වන ඕනෑම විදේශිකයෙකුට විශිෂ්ට ගමනාන්තයක් බවට පත් කරන සන්සුන් ජීවන රටාවකින් සමන්විතව ඇත.

කැනඩාව

සාමාන්‍ය විදේශික වැටුප: ඇමරිකානු ඩොලර් 64,700 (රුපියල් 19,410,000)

2021 වර්ෂයේදී Boston Consulting Group (BCG) මගින් කැනඩාව අංක 01 ගමනාන්තය ලෙස ලැයිස්තුගත කරමින් ඔවුන්ට එම අවස්ථාව ලබා දීමට පියවර ගන්නා බව පැවසූහ. කැනඩාව තුළ පවතින ශක්තිමත් තාක්‍ෂණික සහ ඩිජිටල් සේවා දර්ශනය හේතුවෙන් විශේෂයෙන්ම තරුණ, ඩිජිටල් මනසක් ඇති, සුදු කරපටි සේවකයින් (white collar worker) උදෙසා ප්‍රබල ඉල්ලුමක් කැනඩාව වෙත නිර්මාණය වී ඇත.

කැනඩාවේ ජීවන තත්ත්වය

කැනඩාවට සංක්‍රමණයවන තරුණ පවුල් සඳහා වරප්‍රසාද බහුලව හිමිවේ. එයට සියලු‍ම ස්ථිර පදිංචිකරුවන්ට නොමිලේ හිමිවන සෞඛ්‍ය සේවය, පොදු ද්විතීයික අධ්‍යාපනය, ඉහළ මහජන ආරක්ෂාව සහ අවම වායු දූෂණය ඇතුළත් වේ. කැනඩාව වායු දූෂණය ශ්‍රේණිගත කිරීමේ රාජ්‍යයන් 131 න් 111 වැනි ස්ථානයට පත්ව තිබීම මින් කැපී පෙනේ.

කැනඩාව ලෝකයේ වඩාත්ම ලිබරල් සහ ප්‍රගතිශීලී මිනිසුන් වෙසෙන සමාජයක් ලෙස ද ප්‍රසිද්ධ වී ඇති අතර විදේශිකයන් කුමන පසුබිමක සිටියත් එය සැබවින්ම ඔවුන්ට උද්‍යෝගිමත් සහ ජීවමාන ස්ථානයක් බවට පත් කරයි.

කැනඩාවේ ආදායම් බෙදී යාමේ අසමානතාව Gini සංගුණකයට අනුව 33.3ක් වන අතර එය ගෝලීය සාමාන්‍ය අගය වූ 38 ට වඩා අඩු අගයකි. එය මානව සංවර්ධනය සම්බන්ධයෙන් ලෝකයේ 16 වැනි ස්ථානයට පත්ව ඇති අතර, එහි ප්‍රධාන නගරවල උසස් තත්ත්වයේ යටිතල පහසුකම් සහ විශාල මහජන සේවාවන් වෙනුවෙන් ප්‍රසිද්ධියක් උසුලයි.

ස්පාඤ්ඤය

සාමාන්‍ය විදේශික වැටුප: ඇමරිකානු ඩොලර් 29,000 (රුපියල් 870,000)

ස්පාඤ්ඤය දියුණු බටහිර රාජ්‍යයක් වුවද වසර ගණනාවක් පුරා විවිධ ආර්ථික අභියෝගයන්ට මුහුණ දී ඇත. 2008 වර්ෂයේ ඇති වූ ආර්ථික කඩාවැටීමෙන් පසු ස්පාඤ්ඤය දැඩි ලෙස පීඩාවට පත් වූ නමුත් මේවනවිට සම්පූර්ණයෙන්ම පාහේ සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇත. වර්තමානයේ ස්පාඤ්ඤ ආර්ථිකය දියුණු වෙමින් පවතින අතර විශේෂයෙන්ම තාක්ෂණික සහ මූල්‍ය සමාගම් ඔවුන්ගේ මූලස්ථානයන් ස්ථානගත කර ඇත්තේ මැඩ්රිඩ් සහ බාර්සිලෝනාහි වැනි ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමිනි.

ස්පාඤ්ඤයේ විදේශිකයන් වෙනත් යුරෝපීය රටවල මෙන් මුදල් ඉපැයීමට අපේක්ෂා නොකරයි. ස්පාඤ්ඤයේ ජීවන වියදම බෙහෙවින් ලාභදායී තත්ත්වයක පවතින නිසාවෙන් මූලික වැටුපක් මත පවා ඉහළ ජීවන රටාවක් මෙහි අත්පත් කර ගත හැකිය.

ස්පාඤ්ඤයේ ජීවන තත්ත්වය

ක්‍රියාශීලී සමාජ ජීවිතයක්, යහපත් ආහාර රටාවක් සහ හිරු එළිය ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබේ නම් ස්පාඤ්ඤය වැනි වෙනත් විදේශ ගමනාන්තයක් ලෝකයේම නොමැති තරම්ය. විවේකය වෙනුවෙන් ස්පාඤ්ඤයේ ප්‍රධාන නගරයන් මෙන්ම වැලි සහිත අලංකාර වෙරළ තීරයන්ගේ සිට උස් කඳු මුදුන් සහ වනාන්තර දක්වා වූ සෑම ස්වභාවික ආකර්ෂණයක්ම මෙහි තිබේ. මෑත වසරවලදී ස්පාඤ්ඤය තුළ අඩු අපරාධ අනුපාතයක් වාර්තාගත වීම සැලකිය යුතු ප්‍රගතියක් ලෙස පෙන්වා දිය හැකිය.

ස්පාඤ්ඤයේ නිවාසවල ගුණාත්මකභාවය අනෙකුත් යුරෝපීය රටවල වඩා අවම මට්ටමක පැවතිය හැකිය. එහි පවතින සංකීර්ණ දේශපාලන තත්ත්වය මෑත වසරවල යම් සමාජ නොසන්සුන්තාවයක් ඇති කර ඇති නමුත් සමස්තයක් වශයෙන් ස්පාඤ්ඤයේ ජීවන තත්ත්වය ලෝකයේ හොඳම ජීවන තත්ත්වයන්ගෙන් එකක් ලෙස පෙන්වා දිය හැකිය.

මෙක්සිකෝව

සාමාන්‍ය විදේශික වැටුප: ඇමරිකානු ඩොලර් 23,816 (රුපියල් 7,144,800)

මෙක්සිකෝවේ පවතින අවම ජීවන වියදම හේතුවෙන් විදේශිකයන්ට ප්‍රමාණවත් වැටුපක් උපයා ගැනීමට මෙන්ම එය ඉතිරි කළ හැකිය. සාමාන්‍ය විදේශිකයෙකුට පවා මෙක්සිකෝව තුළ උසස් තත්ත්වයේ නවාතැන් සොයා ගැනීම, ගෘහ බිල්පත් ගෙවීම, පුද්ගලික වාහනයක් ධාවනය කිරීම සහ සිල්ලර බඩු මිලදී ගැනීම ගැටලු‍වක් නොවේ. ඔබ විදේශ වැටුපක් උපයන ඩිජිටල් නාමිකයෙකු (digital nomad) නම්, ඔබට මෙක්සිකෝවේ ඉතා සුඛෝපභෝගී ලෙස ජීවත් වීම පහසු විය හැකිය.

මෙක්සිකෝවේ ජීවන තත්ත්වය

මෙක්සිකෝව නැඟී එන ලෝක ආර්ථිකයක් නියෝජනය කරන අතර එහි වේගයෙන් දියුණු වන ජීවන තත්ත්වය බොහෝ ක්ෂේත්‍රවලින් පිළිබිඹු වේ. මෙක්සිකෝව ලෝකයේ කෙටිම වැඩ කරන සති (shortest working weeks on earth) සහිත රාජ්‍ය වන අතර එහි සතියකට පැය 37 ක් පමණක් වැඩකළ යුතු වේ. මෙක්සිකෝව දැනටමත් ලෝකයේ මිත්‍රශීලී රටවල් අතර ඉහළින්ම ශ්‍රේණිගත කර ඇති අතර බොහෝ විදේශිකයන් පවසන්නේ ඔවුන්ට පදිංචි වීමට කිසිඳු ගැටලුවක් මෙම රාජ්‍ය තුළ තුළ නොමැති බවයි.

මෙක්සිකෝවේ දේශීය සංස්කෘතිය තුළ ආහාර, උත්සව සහ විනෝදය ඉහළින්ම වැජඹෙයි. විශේෂයෙන් විදේශිකයෙකුට මෙක්සිකෝ සිටි අගනුවර තුළ සිදුකිරීමට විවිධ විචිත්‍රවත් ක්‍රියාකාරකම් ඇත. තවද මෙක්සිකෝවේ ආර්ථිකය මූල්‍ය සහ තාක්‍ෂණ ක්ෂේත්‍රය දෙසට වේගයෙන් ගමන් කරන බැවින් රට තුළ දුරස්ථව වැඩ කිරීම උදෙසා වූ යටිතල පහසුකම් (remote working infrastructure) සඳහා විශාල වශයෙන් ආයෝජනය කරයි. එමගින් ඩිජිටල් නාමිකයන්ට මෙක්සිකෝව තුළ ජීවත් වීමට සහ වැඩ කිරීමට පහසු වේ.

නමුත් මෙක්සිකෝව යනු ඉතා ඉහළ අපරාධ අනුපාතයක් ඇති රාජ්‍යයකි. එය විශේෂයෙන් රටේ ඇතැම් ප්‍රදේශවලට සංකේන්ද්‍රණය වී ඇත. මෙක්සිකෝවට සංක්‍රමණයවීමට පෙර ජීවත් වීමට ආරක්ෂිත ප්‍රදේශ පිළිබඳව සොයා බැලීමට විදේශිකයන් කටයුතු කළ යුතුයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *