Thu. Sep 19th, 2024

විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට සහ ඉදිරි උසස්වීම් සඳහා ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අද (09) කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

මෙම අවස්ථාව හිමිවන්නේ 2024 ජුලි 8 සහ 9 යන දෙදින තුළ සේවයට වාර්තා කළ අයට ය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, රටේ පවතින ආර්ථික තත්ත්වය නිසියාකාරව අවබෝධ කරගෙන ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයට කටයුතු කරමින් 2024 ජුලි 08, 09 දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබා දීමටත්, ඔවුන් සියලුම දෙනා වෙත ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවය.

මේ සම්බන්ධව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් දැනුවත් කිරීමටත්, ඊට අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමටත් කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් දී ඇත.

රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයට අයත් නොවන ඇතැම් සේවාවන්වල වෘත්තීය සමිති කිහිපයක් විසින් 2024 ජුලි මස 08 හා 09 දෙදින අසනීප නිවාඩු දැමීමේ හා වැඩ වර්ජනය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරන ලදි.

දැඩි අස්ථාවරත්වයකට මුහුණ පා තිබූ රට පසුගිය දෙවසර තුළ රජය ක්‍රියාත්මක කරන ලද පුළුල් අර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මගින් යම් ස්ථාවරත්වයකට පත් කිරීමට හැකියාව ලැබුණු අතර, ජනතාවට ලබා දුන් සහනවලට අමතරව සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක මාසික දීමනාවක් ලබාදීමට ද රජය කටයුතු කළ බව අදාළ නිවේදනයේ දැක්වෙයි.

පවතින මූල්‍ය තත්ත්වය යටතේ, ජනතාව පිට අමතර බදු බරක් පැටවීමෙන් තොරව මේ අවස්ථාවේදී අමතර වැටුප් හෝ දීමනා වැඩිවීමක් සමස්ත රාජ්‍ය සේවය වෙත ලබා දීමට කිසිදු හැකියාවක් නොමැති බව මහා භාණ්ඩාගාර ලේකම්වරයා ද දන්වා තිබූ බවද එහි සඳහන්ය.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, පසුගිය වකවානුව තුළ දැඩි ආර්ථික පීඩනයකින් සිටි ජනතාවට තවදුරටත් පීඩනයක් ඇති වන අයුරින් තීරණ ගැනීමට රජයට කිසිඳු හැකියාවක් නොමැත. අනෙක් අතට ඇතැම් රාජ්‍ය සේවකයින් විසින් අමතර වැටුප් හා දීමනා ඉල්ලීම් ඉදිරිපත් කරමින් සමස්ත මහජනතාව තවදුරටත් අපහසුතාවට පත් කිරීම ද කිසිසේත් අනුමත කළ නොහැක.

කෙසේ වුවද, මෙලෙස අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ නොවී 2024 ජුලි මස 08 හා 09 දෙදිනම සේවයට වාර්තා කරන ලද විධායක සේවා ගණයට අයත් නොවන රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ ඇගයීමක් සිදු කිරීම රජයේ වගකීමක් ලෙස හඳුනාගෙන තිබේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *