දිනය 1973 වසරේ ඔක්තෝබර් 06 වැනිදා.
ඒ යුදෙව්වන් සිය ආගමේ ශුද්ධ වූ දිනය ‘යොම් කිපූර්’ සමරන දිනයයි.
ඊජිප්තුව සහ සිරියාව ඇතුළු අරාබි ජාතීන් ඊශ්‍රායලය විසින් නීතිවිරෝධී ලෙස අත්පත් කරගෙන සිටින පලස්තීන බිම් මුදාගැනීම සඳහා හදිසි ප්‍රහාරයක් දියත් කළේ ඒ දිනයේදීය.
අරාබි රටවල් එහිදී බටහිරට එරෙහිව තෙල් තහනමක් පැනවූ අතර ලෝක වෙළෙඳපොළේ එවකට තෙල් මිල තුන් ගුණයකින් ඉහළ යාමට එය හේතු විය.
එවකට අමෙරිකානු ජනාධිපති රිචඩ් නික්සන් ගෝලීය න්‍යෂ්ටික අවදානමක්ද ප්‍රකාශයට පත් කළේය.
කෙසේ නමුත් දින 10ක් තිස්සේ පැවති යුද්ධය ජගත් සංවිධානයේ මැදිහත්වීමෙන් නතර කරන විට ඊශ්‍රායලය, සිරියාවට අයත් ගෝලාන් කඳුකරයත්, ඊජිප්තුවේ සිනායි කාන්තාරයත් මුළුමනින්ම පාහේ අත්පත් කරගෙන තිබුණි.
ඇත්තෙන්ම සිදුවූයේ ඊශ්‍රායලය 1967 යුද්ධයේදී අල්ලාගත් ප්‍රදේශවල බලය තහවුරු කරගැනීමක් ලෙස දැක්විය හැකිය.
1973 අරාබි – ඊශ්‍රායල යුද්ධයට වසර 50ක් පිරුණේ 2023 වසරේ ඔක්තෝබර් 06 වනදා ය.
පසුගිය සිකුරාදා රාත්‍රියේ සිට පලස්තීන ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට හමාස් සංවිධානය රොකට් 5,000ක් පමණ එල්ල කළේය.
ඒ සමග දකුණුදිග ඊශ්‍රායලයේ නගරවලට කඩාවැදුණු හමාස් සන්නද්ධ කණ්ඩායම් ඉවක් බවක් නොමැතිව ප්‍රහාර එල්ල කළ අතර මියගිය ඊශ්‍රායල ජාතිකයන් සංඛ්‍යාව 700කට අධික බව සැලකෙයි.
තවත් දහස් ගණනක් එහිදී තුවාල ලැබූ අතර තවත් සිය ගණනක් ඊශ්‍රායල ජාතිකයන් හා විදේශිකයින් හමාස් සන්නද්ධ කණ්ඩායම් ගාසා තීරයට රැගෙන ගොස් ඇත්තේ ඔවුන් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගැනීමටය.
ඊශ්‍රායල ප්‍රතිප්‍රහාරයක බලය අඩාල කිරීමත් ඉදිරියේ සිරකරු හුවමාරුවක් සඳහා යොදාගැනීමත් එහි අරමුණකි.
ඉන්පසු මිලියන 2.3ක් පලස්තීනුවන් ජීවත්වන පටු ගාසා තීරයට ඊශ්‍රායලයෙන් එල්ල වූයේ ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ ප්‍රතිප්‍රහාරයකි.
හමාස් ඉලක්ක බව පැවසුවත් පලස්තීනුවන්ගේ නිවහන්, ගොඩනැගිලි, උමං, දේවස්ථාන සියල්ලටම එල්ලවූ එම ප්‍රතිප්‍රහාරයෙන් පලස්තීනුවන් 400කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ළමයින් 78 දෙනෙකු ද ඒ අතර සිටි බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
තුවාල ලැබූ සංඛ්‍යාව 2300කට අධිකය.
ප්‍රති ප්‍රහාරය යම් අන්දමකින් හෝ පාලනය වී අත්තේ හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිසා බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
තම නෑ හිතවතුන් පැහැරගෙන ගිය ඇතැම් ඊශ්‍රායල වැසියන්ට, ඔවුන් ජීවත්ව සිටිනවාද නැද්ද යන්න පවා අවිනිශ්චිත බව විදෙස් වාර්තා සඳහන් කළේය.
හමාස් ප්‍රහාරයෙන් වැඩිම හානියක් සිදුවූ සහ ප්‍රාණ ඇපකරුවන් රඳවාගත් ‘ඔෆකිම්’ හිදී ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පලස්තීන ගාසා තීරයට පරම්පරා ගණනකට මතක හිටින පාඩමක් උගන්වන බවයි.
ඊශ්‍රායලය යුද්ධයකට පිවිසී ඇති බව අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අන්ත දක්ෂිණාංශික පාලක සන්ධානය ඊයේ නිල වශයෙන් ප්‍රකාශ කළේ ආරක්ෂක කැබිනට්ටුවේ රැස්වීමකින් අනතුරුවය.
යුද්ධය සඳහා ඊශ්‍රායලය අමතර ස්වෙච්ඡා සෙබළුන් ලක්ෂයක් කැඳවා ඇති බව වාර්තා විය.
බටහිර රටවල් සියල්ලමපාහේ ඊශ්‍රායලයට සිය සහාය පළ කර ඇති අතර ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි හමාස් නායකයාට දුරකථනයෙන් අමතා ජයග්‍රහණයට සුබ පැතූ බව වාර්තා වෙයි.
මෙහිදී ඉරානය මෙම ප්‍රහාරය ජයග්‍රහණයක් ලෙස සැලකුවද, ජගත් සංවිධානයේ ඉරාන නියෝජිතයා සඳහන් කර ඇත්තේ ප්‍රහාරයට තමන් සම්බන්ධ නොමැති බවයි.
හමාස් ප්‍රහාරයට ඉරානය සම්බන්ධ බවට මෙතෙක් තොරතුරක් ලැබී නොමැති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ද පවසා තිබේ.
එමෙන්ම සෞදි අරාබිය සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කිරීමට දරන උත්සාහයට අකුල් හෙළීම හමාස් ප්‍රහාරයේ අරමුණක් බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.
එමෙන්ම ඉරානය සමග සබඳතා යථා තත්ත්වයට පත්කර ගැනීමටද අමෙරිකාව පසුගිය කාලයේදී උත්සාහයක නිරත විය.
විශේෂයෙන් යුක්‍රේන යුද්ධයේදී රුසියාවට ඩ්‍රෝන් යානා ඇතුළු යුධෝපකරණ ඉරානය විසින් සැපයීම වැළැක්වීමට ද සබඳතා යථා තත්ත්වයට පත්කරගැනීමෙන් කළ හැකි වේයැයි අමෙරිකාව කල්පනා කරන්නට ඇති බව සඳහන් ය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සහ අනිකුත් මැදපෙරදිග රටවල්ද හමාස් සංවිධානයට සහාය පළ කරමින් විරෝධතා පවත්වා තිබේ.
කෙසේ නමුත් බටහිර රටවල් සමග සමීප සබඳතා පවත්වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හමාස් සංවිධානයේ ක්‍රියාමාර්ගය හැඳින්වූයේ තත්ත්වය තවදුරටත් උත්සන්න කිරීමක් ලෙසිනි.
ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර ගුවන් සේවා රැසක් ඊශ්‍රායලය වෙත සිය ගුවන් ගමන් අත්හිටවූ අතර තත්ත්වය යහපත් වනතුරු යළි ඊශ්‍රායලයට පියාසර නොකරන බව සඳහන් කළේය.
මේ අතර ගාසා තීරයෙන් ඔබ්බටද දැන් සටන් ඇවිලී ඇති අතර ලෙබනනයේ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම් සහ ඊශ්‍රායල හමුදා කාලතුවක්කු සහ රොකට් වෙඩි හුවමාරුවක නිරත වූ බව වාර්තා වෙයි.
එමෙන්ම ඊජිප්තුවේදී ඊශ්‍රායල ජාතික සංචාරකයන් දෙදෙනකු සහ ඔවුන්ගේ ඊජිපත්තු මඟපෙන්වන අයෙක්ව එරට පොලිස් නිලධාරියෙක් විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා විය.
හමාස් ආක්‍රමණය ආරම්භ වී පැය 12කට පසුවද දකුණුදිග ඊශ්‍රායලයේ හමාස් සන්නද්ධ කණ්ඩායම් සහ ඊශ්‍රායල සෙබළුන් අතර ගැටුම් වාර්තා වෙයි.
ඔක්තෝබර් 06 හදිසි ප්‍රහාරයේදී හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල හමුදා කඳවුරු කිහිපයක් අත්පත් කරගත් අතර දේශසීමා නගරවලට දැවැන්ත ප්‍රහාර එල්ල කර තිබේ.
ලොව ඉතා කාර්යක්ෂම හමුදා බුද්ධි අංශයක් හිමි ඊශ්‍රායලයට මෙම ප්‍රහාරය පිළිබඳ කලින් තොරතුරක් නොලැබුණේ මන්ද යන්න දැන් ඊශ්‍රායලය තුළ කතාබහට ලක්වෙයි.
එමෙන්ම ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා ඊශ්‍රායල හමුදා ප්‍රමාණවත් පියවර නොගන්නේද යන්නත් ජනතා අවධානයට ලක්ව ඇති කරුණකි.
කෙසේ නමුත් හමාස් ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර වශයෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කරගැනීම සාධාරණීයකරණය කළ නොහැකි බව පලස්තීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
පලස්තීනුවන් ගාසා තීරයට සහ බටහිර ඉවුරට කොටුකර, ඔවුන්ට දැඩි සම්බාධක පැනවීමත් යුදෙව් ජනාවාස පලස්තීන බිම් ප්‍රදේශ කරා තවදුරටත් ව්‍යාප්ත කිරීමත් හමාස් සංවිධානය උදහසට ලක්කළ කරුණක් වෙයි.
ඊශ්‍රායලයේ සදාතනික මිතුරා වන අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් සඳහන් කර ඇත්තේ, හමාස් ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී ඊශ්‍රායලයට තම සහාය පළවන බවයි.
එමෙන්ම ඊශ්‍රායලයට සහාය පළ කිරීමක් වශයෙන් අමෙරිකාවට අයත් යූ.එස්.එස්. ජෙරල්ඩ් ෆෝඩ් යුද නෞකා බළකාය ඊශ්‍රායලයට ආසන්න මධ්‍යධරණී මුහුදට යවා තිබේ.
ඊට අමතරව අමෙරිකානු ගුවන් හමුදාවට අයත් F-35, F-15, F-16 සහ A-10 වර්ගයේ අමෙරිකානු ප්‍රහාරක යාත්‍රා පෙළක්ද කලාපය වෙත යැවීමට අමෙරිකාව කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
මේ අතර අත්අඩංගුවට පත්වූ හමාස් සටන්කරුවෙක් පවසා ඇත්තේ තම සංවිධානය වසරක් පුරා ඊශ්‍රායලය රැවටූ බවයි.
තම සංවිධානය ඊශ්‍රායලයට තර්ජනයක් නොවන බවත් තමන් වඩාත් උත්සාහ කරන්නේ තම වැසියන්ට ඊශ්‍රායලයෙන් ආර්ථික වාසි ලබාගැනීම බවත් ඒත්තු ගැන්වීමට හමාස් නායකයින් සමත්වී තිබුණි.
එබැවින් ඊශ්‍රායලය ගාසා තීරයෙන් තර්ජනයක් එල්ල වෙතැයි සිතා නොමැති බව ජාත්ත්‍යන්තර විචාරකයෝ පවසති.