Thu. Sep 19th, 2024

වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ 2024 වර්ෂය සඳහා ලබාදී ඇති ස්ථානමාරුවීම් වහාම ක්‍රියාත්මක කරන ලෙස සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබේ.

රාජ්‍යසේවා කොමිෂන් සේවා සභාවේ ලේකම්වරයා විසින් ලිඛිතව අදාළ දැනුම් දීම සිදුකර ඇති බව වාර්තා වේ.

2024 වර්ෂය සඳහා වාර්ෂික ස්ථාන මාරුවීම්වලට අදාළව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ලැබී ඇති අභියාචනා සම්බන්ධයෙන් ද කොමිෂන් සභාවේ තීරණ මේ වන විට දැනුම් දී තිබුණ ද තවදුරටත් විවිධ පාර්ශව වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වන බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.

මේ හේතුවෙන් වාර්ෂිත ස්ථාන මාරුවීම් යටතේ ලබා දී ඇති ඇතැම් ස්ථානමාරු චක්‍ර ක්‍රියාවට නැංවිය නොහැකි වී ඇති අතර එම නිසා අදාළ ස්ථානමාරුවීම් චක්‍රවල සිටින අනෙකුත් නිලධාරීන් අගතියට පත්ව ඇති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

වාර්ෂික ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබාදී ඇති තීරණ පිළිබඳව අතෘප්තියට පත්වන නිලධාරීන්ට පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය වෙත සිය අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.

එහෙත් එම අභියාචනා සම්බන්ධයෙන් පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරයේ තීරණ ලැබෙන තෙක් අදාළ ස්ථාන මාරු එලෙසින්ම ක්‍රියාත්මක විය යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව අමාත්‍යංශ ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

ඒ අනුව 2024 වාර්ෂික ස්ථාන මාරු නියෝග සම්බන්ධයේයෙන් නැවත නැවත රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉල්ලීම් නොකරන ලෙස ද විධිමත් පරිදි ස්ථාන මාරුවීම් ලබා ඇති නිලධාරීන් සේවයෙන් නිදහස් කරන ලෙස ද රාජ්‍ය සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *