Fri. Sep 20th, 2024

අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම වත්මන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂකයින්ගේ නොසැලකිල්ල හේතුවෙන් ට්‍රම්ප් මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ට්‍රම්ප්ගේ ආරක්ෂාවට සිටි නිළධාරීන්ට මේ වනවිට බොහෝ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල වන අතර එම පාර්ශ්ව සඳහන් කරන්නේ අදාළ ආරක්ෂක නිළධාරීන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් සපයා නොමැති බවයි.

ට්‍රම්ප් සහභාගී වූ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පැවති මැතිවරණ රැළියක් ඉලක්ක කර එල්ල වු වෙඩි ප්‍රහාරවලින් ට්‍රම්ප්ගේ දකුණු කන ආශ්‍රිතව තුවාල සිදුවුණා.

වෙඩි ප්‍රහාරය එල්ලවනවාත් සමගම ට්‍රම්ප් බිම දිගා වූ අතර එම අවස්ථාවේ ඔහුගේ ආරක්ෂාවට සිටි නිළධාරීන් වහාම ඔහුව වේදිකාවෙන් ඉවත් කිරීමට කටයුතු කළා.

ඒ වනවිටත් ට්‍රම්ප්ගේ කන ආශ්‍රිතව සහ මුහුණෙහි රුධිරය තිබෙනු දක්නට ලැබෙනවා.

එම මැතිවරණ රැළියට සහභාගි වී සිටි ‘ග්‍රෙග්’ නැමැති පුද්ගලයෙකු බීබීසී පුවත් සේවය සමග අදහස් දක්වමින් එම අවස්ථාවේ සිදුවු දේ පිළිබඳ පැහැදිලි කර තිබුණා.

ට්‍රම්ප් රැළිය අමතද්දී, වෙඩි තැබීම කළ බව පැවසෙන ස්නයිපර් තුවක්කුකරු, අඩි 400 ක් පමණ ඈතින් පිහිටි උස් ගොඩනැගිල්ලට ගොඩවන අයුරු තමන් දුටු බවත්, තමන් ඒ මොහොතේම ඒ පිළිබඳ ට්‍රම්ප්ගේ ආරක්ෂකයින්ට පැවසූ බවත් ‘ග්‍රෙග්’ නමැති පුද්ගලයා විසින් බීබීසී පුවත් සේවය සමග ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට ඒ බව පැවසුවද ඔවුන් එය ගණනකටවත් නොගත් බවයි ග්‍රේග් චෝදනා කර ඇත්තේ.

“වහලයට කෙනෙක් නගිනවා මම දැක්කා.. ඒ මොහොතේම මම ඒක ට්‍රම්ප්ගේ ආරක්ෂක නිලධාරීන්ට කීවා… ඒත් ඔවුන් මාව ගණන් ගත්තේ නැහැ.. එසැණින් වෙඩි හඩ අසන්න ලැබුණා..”

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *