Thu. Sep 19th, 2024

වැටුප් පිළිබඳ පැවති ගැටළුවක් මත ගුවන් ගමන් පාලකවරුන් තම සමාගම හැර යාම, රජයේ මැදිහත් වීමෙන් මේ වන විට නිරාකරණය කර තිබෙන නමුත් ගුවන් ගමන් පාලකවරුන් 80ක් පමණ මේ වන විට රට හැර ගොස් තිබෙන බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)(පුද්ගලික) සමාගමේ සභාපති අතුල ගල්කෙටිය මහතා පවසයි.

‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)(පුද්ගලික) සමාගමේ සභාපති අතුල ගල්කෙටිය මහතා,

2024 වසරේ ජූලි මාසය වන විට ජාත්‍යන්තර මගී සංචලන මිලියන 4.3ක් සිදු වී තිබෙනවා. ඉදිරි මාස හය අවසන් වන විට එම සංඛ්‍යාව මිලියන 9ක් පමණ වනු ඇති බව අප විශ්වාස කරනවා. එම සංඛ්‍යාව 2023 ජූලි මාසය හා සංසන්දනය කරන විට 26.10%ක වර්ධනයක් වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ගුවන් සංචලන ප්‍රමාණයද 2023 වස‍රේ ජූනි මාසයට සාපේක්ෂව 2024 ජූනි මාසය වන විට 24.50%කින් ඉහළ ගොස් තිබෙනවා. තවද එම කාල පරාසය තුළ ගුවන් භාණ්ඩ සංචලන ප්‍රමාණයත් 28.96%කින් වැඩි වී තිබෙනවා.

අපගේ පර්යන්තය මඟින් 2018 වසරේදී ගුවන් මගීන් මිලියන 10.8 ක් පමණ හසුරුවා තිබෙනවා. නමුත් පහසුකම් සැලසීමේ ගැටළු කිහිපයක් තිබෙනවා. එම නිසා මගීන් මිලියන 8ක් 9ක් සඳහා පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් කෙටි කාලීන සහ දිගු කාලීන පියවර රැසක් මේ වන විට ගනිමින් තිබෙනවා. පළමු වැන්න අතුරු පර්යන්තයෙන් පිටත්වීමේ ප්‍රදේශය වැඩි දියුණු කිරීම සඳහා ටෙන්ඩරය සැලසුම් කර තිබෙනවා. බොහෝ විට ලබන මාසය වන විට එම ටෙන්ඩරය ලබා දෙනු ඇතියි. එසේම නව ගොඩනැගිල්ලක ඉදි කෙරෙන පිටවීමේ ප්‍රදේශයේ (Departure Area) තවත් කවුන්ටර් 30ක් ඇති කිරීමත්, පැමිණීමේ සහ පිටවීමේ ඊ- ගේට්ටු 4 බැගින් ඉදි කිරීමත් සිදු වෙනවා. එයින් ආගමන හා විගමන කටයුතු වේගවත්ව කටයුතු සිදු කර ගත හැකියි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා යෝජිත දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ඉතා ඉක්මණින් නැවත ආරම්භ කළ හැකි බව අප විශ්වාස කරනවා. ඒ පිළිබඳව මේ වන විට අප JICA ආයතනය සමඟ සාකච්ඡා කරමින් සිටින අතර ඔවුන් අපට පොරොන්දු වූ පරිදි ලබන මාසය වන විට අවශ්‍ය ණය පහසුකම ලබා දෙනු ඇතියි. සැප්තැම්බර් මාසයේ මැද වන විට ටෙන්ඩර් නිකුත් කර ලබන වසරේ මැද භාගය වන විට ඉදිකිරීම් ආරම්භ කර 2028 අවසානය වන විට එය අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එමඟින් තවත් මගීන් මිලියන 9 කට පමණ පහසුකම් සැපයීමට අප බලාපොරොත්තු වෙනවා

මේ අතර වැටුප් පිළිබඳ පැවති ගැටළුවක් මත ගුවන් ගමන් පාලකවරුන් අප හැර යාම රජයේ මැදිහත් වීමෙන් මේ වන විට නිරාකරණය කර තිබෙනවා. කෙසේ වුවත් ගුවන් ගමන් පාලකවරුන් 80ක් පමණ රට හැර ගොස් තිබෙන බව පැවසිය යුතුයි. එම නිසා ගුවන් ගමන් පාලකවරුන් අලුතින් බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. මේ වන විට අප 25කට වඩා වැඩි කණ්ඩායමක් බඳවාගෙන ඇති අතර, ඔවුන් පුහුණු කර, රාජකාරි සඳහා අනුයුක්ත කර තිබෙනවා. එසේම තවත් කණ්ඩායමක් සඳහා අප අයදුම්පත් කැඳවා තිබෙන බව සඳහන් කළ යුතුයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *