Thu. Sep 19th, 2024

ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙකු විසින් ඡන්දදායකයෙක් සඳහා වැය කළ හැකි උපරිම මිල සඳහන් ගැසට් පත්‍රය ඊයේ (19) රාත්‍රියේ දී නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එක් ඡන්දයක් සඳහා වැය කළ හැකි මුදල රුපියල් 109ක්.

නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව ඡන්ද අපේක්ෂකයින් සමඟ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි මෙම මුදල තීරණය කෙරුණේ.

ඒ අනුව මැතිවරණයේ දී එක් ඡන්දදායකයෙක් සඳහා රුපියල් 109ක් වැය කළ යුතු බවට තීරණය කළ අතර අපේක්ෂකයෙක් විසින් ජනාධිපතිවරණයේ දී වැය කළ යුතු උපරිම මුදල රුපියල් එකසිය අසූ හයකෝටි අසූ දෙලක්ෂ අනූ අට දහස් පන්සීය අසූ හයක්.

ජනාධිපති අපේක්ෂකයෙකුට එම මුදලෙන් සියයට 60ක මුදලක් වැය කළ හැකියි.

ඒ අනුව එම අපේක්ෂකයා රුපියල් එකසිය දොළොස් කෝටි නවලක්ෂ හත්තෑනව දහස් එකසීය පනස් එකයි ශත හැටක මුදලක් වැය කළ යුතු වනවා.

සෙසු සියයට 40ක මුදල වන රුපියල් හැත්තෑහතර කෝටි හැත්තෑ තුන්ලක්ෂ දහනව දහස් හාරසීය තිස් හතරයි ශත 40ක් අපේක්ෂකයාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂයක හෝ වෙනත් දේශපාලන පක්ෂයක ලේකම්වරයාට හෝ අපේක්ෂකයෙකු නාමයෝජනා කළ ඡන්දහිමියාට වැයකළ හැකියි.

මැතිවණ කොමිසම විසින් තීරණය කරනු ලබන මුදලට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කරන්නේ නම් එය නීතිවිරෝධි ක්‍රියාවක් වන අතර අදාළ මැතිවරණ නීතිය යටතේ ඡන්ද අපේක්ෂකයාට දඬුවම් කළ හැකි බව සඳහන්.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් කළ දිනයේ සිට දින 21ක් ඇතුළත් අදාළ වියදම් වාර්තා නම් කරන ඇති නිලධාරියා වෙත භාරදිය යුතුයි.

අදාළ වාර්තා ලබාගැනීමේ සිට දින 10ක් අවසන් වීමෙන් අනතුරුව එය මහජනතාවට පරීක්ෂා කිරීමට ඉඩ ලබා දිය යුතු බවත්, ඒ සඳහා සුදුසු වේලාවක් සහ ස්ථානයක් නම් කර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යවල පුවත්පත් දැන්වීම් පළ කළ යුතු බවත් අදාළ පනතෙහි සඳහන්.

භාර දෙන ලද වියදම් වාර්තා සහ ප්‍රකාශනය පරීක්ෂා කර බැලීමට ජනතාවට අවසර දිය යුතුයි.

එමෙන් ම එහි පිටපතක් මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කරන ලද මුදලක් ගෙවා ලබා ගත හැකි බවයි අදාළ පනතේ දක්වා ඇත්තේ.

මැතිවරණය සඳහා නියමිත මුදල් ප්‍රමාණයට වඩා අපේක්ෂකයින් වියදම් කර ඇතැයි හැඟෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට පැමිණිලි කරන‌ ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

යම් අයෙක් මහාධිකරණයක් මඟින් වරදකරු වූ විට ඒ සම්බන්ධ වූ මැතිවරණ පනත්වල නියම කර ඇති දණ්ඩනයට යටත් විය යුතුයි. ඒ අනුව රුපියල් ලක්ෂයක මුදලක් නොඉක්මවන දඩයක් නියම වනු ඇති.

වරදකරු වීම හේතුවෙන් වසර තුනක කාලයකට ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීමේ හැකියාව ද අහිමි වන බව සඳහන්.

එමෙන් ම ජයග්‍රහණය කළ අපේක්ෂකයෙකු නම් ඔහුගේ ධුර අහෝසි කිරීමේ බලය මැතිවරණ කොමිසම සතු වනවා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *