Thu. Sep 19th, 2024

මෙරට දුම්රිය මාර්ග සියල්ල ධාවනය දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ තබා ගනිමින් දුම්රිය සේවය සඳහා විදේශීය ආයෝජකයන්ද එක්කර ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

මේ පිළිබඳ සැලසුම ප්‍රවාහන හා මහා මාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන විසින් කැබිනට් මණ්ඩලය හමුවේද පසුගියදා අවධාරණය කර තිබෙන බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙරට දුම්රිය සේවය ශක්තිමත්ව නොපැවැතීමත් විදුලි දුම්රිය සේවය මෙරට ජනතාවටද ලබා දීමේ අරමුණ ඇතිව මෙම සැලසුම් යෝජනා වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව දුම්රිය දෙපාර්තමේන්තුවද ප්‍රතිව්‍යුහගත කිරීමටත් අධිකාරියක් කිරීමටත් රජය විසින් තීරණය කර ඇති අතර ඒ සඳහා චීන, ඉන්දීය, ජපාන ආයෝජකයන් සමගින් සාකච්ඡාද සිදුව ඇත. මෙම විදේශීය සමාගම් විසින් ඒ ඒ රටවල්වල දියුණු දුම්රිය සේවාවක් සපයන පාර්ශ්වද වේ.

මේ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ දැනට ධාවනය වන දුම්රියන්ට අමතරව විදේශීය ආයෝජන සමාගම් මගින් යොදවන දුම්රියද ධාවනය කරවීමටත් එමගින් දුම්රිය සේවාව තවදුරටත් වැඩි දියුණු කරමින් තියුණු සේවාවක් මගී ජනතාව වෙත ලබාදීමටත් අවධානය යොමුව ඇත.

මීට සමගාමීව දුම්රිය ප්‍රවේශපත්‍රද විද්‍යුත් ක්‍රමවේදයකට අනුව නිකුත් කිරීමටත්, තදාසන්න දුම්රිය ස්ථානදපුළුල් සංවර්ධනයකට ලක් කිරීමටත් සැලසුම් කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවේ යටතේ දුම්රිය ගමන්වාර 370ක පමණ දෛනිකව ධාවනය වන අතර මගී සහ භාණ්ඩ ප්‍රවාහන මගින් මාසිකව රුපියල් බිලියන එකක ආදායමක් එම දෙපාර්තමේන්තුවට හිමිවේ. කෙසේ නමුත් රුපියල් බිලියන එකක එම ආදායම මුළුමනින්ම ඩීසල් සඳහා වැය වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු සඳහන් කළේය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *