Thu. Sep 19th, 2024

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් මහජනතාවගේ මුදල් ලබාගෙන එය සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනාවට වරද පිළිගත් සක්විති රණසිංහ මහතා විසින් අද (24) තවත් රුපියල් ලක්ෂ 50ක මුදලක් කොළඹ මහාධිකරණය හමුවේ තැන්පත් කර තිබේ.

අදාළ චෝදනාවට වරද පිළිගත් සක්විති රණසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ විසින් තැන්පත්කරුවන්ගෙන් ලබා ගත් මුදල්, රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික 20කින් ගෙවා අවසන් කරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබිණි.

ඒ අනුව ඉකුත් නඩු දිනයේ දී සක්විති රණසිංහ මහතා රුපියල් ලක්ෂ 50ක මුදලක් අධිකරණය හමුවේ තැන්පත් කළේය.

ඒ අනුව නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ දී එහි දෙවන වාරිකය වන තවත් රුපියල් ලක්ෂ 50ක මුදලක් විත්තිකරු විසින් අධිකරණය හමුවේ තැන්පත් කරනු ලැබීය.

ඒ අනුව නඩුවට අදාළ මීළඟ වාරිකය ගෙවීම සඳහා නඩුව නැවත සැප්තැම්බර් මස 22 වනදා කැඳවන ලෙසත් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේය.

2006 වසරේ ජනවාරි මස සහ 2008 වසරේ සැප්තැම්බර් මාසය අතර කාලසීමාව තුළ ‘සක්විති හවුසිං ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන්’ සමාගම පවත්වාගෙන ගොස් මහජනතාවගෙන් තැන්පතු මුදල් ලබාගෙන රුපියල් මිලියන 160කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් සක්විති රණසිංහ මහතා සහ ඔහුගේ බිරිඳට එරෙහිව මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනු කර තිබිණි.

ඒ අනුව එම චෝදනාවලට ඔවුන් වරද පිළිගත් අතර, ඔවුන් විසින් සෑම මසකම රුපියල් ලක්ෂ පනහ බැගින් වාරික විස්සකින් අදාළ මුදල ගෙවා අවසන් කළ යුතු බවට අධිකරණය විසින් නියෝග කර තිබිණි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *