උසස් පෙළ ‘A’ සමාර්ථ තුනක් ගත් දෑස නොපෙනෙන සිසුවිය.

කුරුණෑගල පිදුරුවැල්ල ප්‍රදේශයේ උපතින්ම දෘශ්‍යාබාධිත හිමාශා කාවින්දි හේරත් සිසුවිය 2023 වසරේ අපොස උසස් පෙළ විභාගයෙන් ඒ සමාර්ථ තුනක් ලබාගෙන විශිෂ්ට ලෙස සමත් වී තිබෙනවා.

ඇය අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටිය යුත්තේ මේ වසරේ වුවත් පෞද්ගලික අයැදුම්කාරියක ලෙස පසුගිය වසරේ විභාගයට පෙනී සිටියා.

ආර්ථික විද්‍යාව, තර්ක ශාස්ත්‍රය සහ දේශපාලන විද්‍යාව යන විෂයයන්වලට ඇය ඒ සමාර්ථ තුනක් ලැබුවා.

කුරුණෑගල මහින්ද මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට 2021 වසරේ පෙනී සිටි හිමාසා සිසුවිය විෂයන් නවයටම ඒ සමාර්ථ ලබාගෙන තිබෙනවා.

තම ජයග්‍රහණය ගැන දෘශ්‍යාබාධිත සිසුවිය මෙසේ පැවැසුවා.

“අපොස උසස් පෙළ විභාගයට මට පෙනී සිටීමට නියමිතව තිබුණේ මේ වසරේදී. ඒත් මම පාසල් නොගොස් පාඩම් කරලා අවුරුද්දකට කලින් එම විභාගයට පෙනී සිටියා. කොතලාවල විද්‍යාලයේ ප්‍රියංගනී මිස්ගෙන් කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයේ තිලෝචනී මිස්ගෙන් සහ විශ්‍රාමික ගුරුවරයකු වන අනිල් සර්ගෙන් අදාළ විෂයන් ඉගෙන ගත්තා. මගේ අම්මා පාසල් ගුරුවරියක නිසා ඇය ද අධ්‍යාපන කටයුතුවලට හැමවිටම උදව් කළා. මම ඉගෙන ගත්තේ බ්‍රේල් ක්‍රමයට.

මම උසස් පෙළ විභාග ප්‍රශ්න පත්තර සියල්ලටම පිළිතුරු ලියද්දී ප්‍රශ්න ටික සේරම මට ඇහෙන්න බොහොම පැහැදිලිව කිව්වේ සඳගල විශේෂ අවශ්‍යතා ඇති පාසලේ රේණුකා මිස් තමා. රේණුකා මිස් ප්‍රශ්න කියවද්දී මම ඒවා හොඳින් අහගෙන ඉඳලා බ්‍රේල් ක්‍රමයට පිළිතුරු ලිව්වා. නීති පීඨයට ඇතුළුවෙලා නීතිඥවරියකු වීම‍ට තමා බලාපොරොත්තුව.

මම සෑම නංගිලා මල්ලිලා කෙනෙකුගෙන්ම ඉල්ලා සිටින්නේ කැපවීමකින් උනන්දුවකින් වැඩ කළොත් ජීවිතය ජයග්‍රහණය කර ගන්න පුළුවන් කියලයි. මම උපතින්ම දෘෂ්‍යාබාධිත වුණැයි කියලා නිකම් කාලය ගත කළේ නැහැ. කැප වෙලා අධ්‍යාපන කටයුතු කරගෙන ගියා “යැයි හිමාසා සිසුවිය පැවැසුවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *