Fri. Oct 18th, 2024

වසර දෙකකට අදාළව රජයට ගෙවිය යුතු රුපියල් තුන්කෝටි විසිපන් ලක්ෂයකට අධික වැට් බදු ගෙවීම පැහැර හරින ලද සමාගම් අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු වන අඹුසැමි යුවළකට මාස 6 බැගින් සිර දඬුවම් ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (07දා) නියෝග කළේය.

මුද්‍රණ කටයුතු ව්‍යාපාරයක අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු වන පාදුක්ක ප්‍රදේශයේ පදිංචි තමරා කුමාරි අමරසිංහ හා මහේන්ද්‍ර ගුණසේකර යන විත්තිකාර අඹුසැමි යුවළකට එසේ සිර දඬුවම් නියම කෙරුණි.

2014 හා 2015 යන වසර දෙක සඳහා රජයට ගෙවිය යුතු රුපියල් 32,512,815,56 ක වැට් බදු රජයට ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව 2022 වසරේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමෙන් අනතුරුව එම වැට් බදු රජයට ගෙවන ලෙස අධිකරණය මගින් නියෝග කර තිබිණි. එම නියෝගය අභියෝගයට ලක්කරමින් විත්තිකරුවන් දෙපළ කොළඹ මහාධිකරණය හමුවේ හා අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබුණද එම ඉල්ලීම් අදාළ අධිකරණ මගින් ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ අනුව එම නඩුව ඊයේ කොළඹ අතිරේක මහේත්‍රාත්වරයා හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී අදාළ බදු මුදල් රජයට ගෙවන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

බදු මුදල් එක්වර ගෙවීමට හැකියාවක් නොමැති බැවින් ඒ සඳහා විත්තිකරුවන්ට වසර පහක සහන කාලයක් ලබාදෙන ලෙස ඔවුන් දෙපළ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළද එය ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා එම වැට් බදු ඊයේ දිනය ඇතුළතම ගෙවන ලෙසටද නියෝග කළේය. ඊයේ දිනයේ බදු ගෙවීමට තමන්ට හැකියාවක් නොමැති බවට විත්තිකාර යුවළ සිය නීතිඥවරයා මගින් අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව එය සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා එම විත්තිකරුවන් දෙදෙනාට මාස 6 බැගින් එසේ සිර දඬුවම් ලබාදෙන ලෙසටද නියෝග කළේය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *