බයික් එකෙන් හඳට යන්න ගිය පිරිසට ලැබුණු දඬුවම.

0
71

නීතිවිරෝධී ලෙස මාර්ගයේ යතුරුපැදි ධාවන තරගවල නිරත වූ පිරිසකට අධිකරණය විසින් රුපියල් 427,500ක දඩ නියම කර ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ එහිදී අධිකරණය විසින් සැකකාර යතුරුපැදිකරුවන් 15 දෙනෙකුගේ රියදුරු බලපත්‍ර මාස 6ක කාලයකට අත්හිටුවීමට ද නියෝග කර ඇති බවය.

එම යතුරුපැදිකරුවන්ට බම්බලපිටිය ගාලුපාර හා ඩුප්ලිකේෂන් පාර යන ප්‍රදේශවල විනෝදාස්වාදය සඳහා නොසැලකිලිමත් ලෙස හා ඉතා අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනයේ නිරත වූ බවට චෝදනා එල්ලවී තිබුණි.

එක් දිශාවකට පමණක් දිවෙන මෙම මාර්ගයේ විශාල ශබ්දයක් සමඟ අධික වේගයෙන් හා ප්‍රතිවිරුද්ධ දිශාවට පවා නොහික්මුණු ආකාරයෙන් යතුරුපැදි ධාවනය කරන බවට ජනතාවගෙන් බම්බලපිටිය පොලීසියට පැමිණිලි ලැබී තිබුණි.

ඒ අනුව බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පසුගිය මැයි මස 05 වනදා අලුයම මෙම විශේෂ වැටලීම සිදුකර සැකපිට එම යතුරුපැදිකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම පිරිස් සෙසු රියදුරන්ට ද අවදානමක් ගෙනදෙමින් ඉදිරියට පැමිණෙන වාහන අතරින් අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කරන අතර පසුපස රෝදයෙන් පමණක් ධාවනය කරමින් මාර්ගය පුරා ගමන් කරන බවට පැමිණිලි ලැබී ඇති බවට වාර්තාවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here