Tue. Sep 24th, 2024

ක්‍රිකට් ක්‍රීඩාවේ තාක්ෂණික ශිල්පක්‍රම දවසින් දවස අලුත් වෙනවා.

ඊට නොදෙවෙනි ලෙස ක්‍රීඩා උපකරණ, මෙවලම් මෙන්ම ක්‍රීඩාංගණවලට එක්කරන තාක්ෂණයත් දවසින් දවස වෙනස් වෙනවා.

මේ කියන්න යන චින්නස්වාමි ක්‍රීඩාංගණයත් ඒ වගේ එකක්.

ලෝකේ වෙන කිසිම ක්‍රිකට් ක්‍රීඩාංගණයක නැති අලුත්ම තාක්ෂණයක් මේකට එක්කර තිබෙනවා.

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය අගනගරය කරගත් බැංගලෝර්හි පිහිටා ඇති මෙම ක්‍රීඩාංගණය ඉදිකර තිබෙන්නේ 1969 වර්ෂයේදී.

මේ දිනවල ජනප්‍රිය අයි.පී.එල්. තරගාවලියේදී විරාට් කෝලි ඇතුළු ප්‍රබලයන් රැසක් ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ මව් ක්‍රීඩාංගණය වන්නේද මෙය.

40,000 ඉක්ම වූ ආසන ධාරිතාවක් ඇති මෙම ක්‍රීඩාංගණය, කර්ණාටක ප්‍රාන්ත ක්‍රිකට් සම්මේලනය යටතේ පාලනය වෙනවා.

මෙම ක්‍රීඩාංගණයට ලෝකයේ වෙනත් කිසිම ක්‍රීඩාංගණයක නැති, ජලය බැස යාමේ අලුත්ම තාක්‍ෂණයක් 2017 වර්ෂයේදී හඳුන්වා දී තිබෙනවා.

ඇත්තෙන්ම කිව්වොත් මේ තාක්ෂණය ජලය බැසයාමටත් වඩා, ජලය උරාගැනීමේ පද්ධතියක්.

අධික කාර්යක්ෂමතාවකින් මෙහි ජලය බැසයන නිසා ක්‍රීඩාංගණයේ ජලය රැදී තිබීම ඉතාමත් අවමයි.

අධික වර්ෂාවක් ඇඳහැළුණත්, මේ ක්‍රීඩාංගණයේ නම් පිටිය වේලාගැනීමට අමුතුවෙන් මහන්සිය විය යුතු නැහැ.

ඒ නිසා මහා ධාරාණිපාත වර්ෂාවක් ඇඳහැළුනත්, තරගයක් අතහැර දමන්නේ නැති තරම්.

මෙහි ජලය බැසයාමේ අධික කාර්යක්ෂමතාව නිසා, සාමාන්‍ය වියලි කාළගුණයකදී ක්‍රීඩාංගණය වියලීමටත් වඩා 36 ගුණයක් ඉක්මනින් වියලීමට ලක්වෙනවා.

එම කාර්යක්ෂමතාව කොතෙක්ද කියනවානම්, මිනිත්තුවකට ක්‍රීඩාංගණය මතුපිට ඇති ජලය ලීටර් දස දහසකට අධික ප්‍රමාණයක් ඇඳගත හැකියි.

මේ ඉක්මන් ක්‍රියාවලිය නිසා වර්ෂාව ඇදහැළී මිනිත්තු කිහිපයකින්ම කිසිදු ගැටළුවක් නැතිවම තරගයක් ආරම්භ කළ හැකියි.

එමෙන්ම මෙම පද්ධතිය නිසා වර්ෂාව අවස්ථාවේදී ආවරණය කර ගත යුත්තේ තණනිල්ල (Pitch) පමණක් නිසා, මිනිස් ශ්‍රමය වැඩිපුර යොදාගැනීමේ අවශ්‍යතාවක්ද නැත.

තවද මෙම ඇදගන්නා ජලය, ක්‍රීඩාංගණයෙන් පිටත ඇති විශාල ටැංකිවල ගබඩා කිරීමේ හැකියාවක්ද තිබෙනවා.

ඒ නිසා තණකොල නඩත්තුව සඳහා පිටතින් වතුර රැගෙන ඒමේ අවශ්‍යතාවක්ද නැති තරම්.

ඊට අමතරව ක්‍රීඩාංගණයේ තණකොළ සඳහා ඔක්සිජන් සැපයීමේ පද්ධතියක්ද මෙහි ස්ථාපිත කර තිබෙනවා.

එමගින් ක්‍රීඩාංගණයේ තණකොළ වියලීයාම අඩුකර, සාරවත් තණකොළ රටාවක් පවත්වා ගැනීමටද හැකියාව ඇත.

මෙම ජලය උරාගැනීමේ පද්ධතිය අශ්වබල 200ක බලගතු යන්ත්‍රයක් ආධාරයෙන් බලගැන්වෙනවා.

එමෙන්ම ක්‍රීඩාංගණය යටඇති ජලය ගෙනයන නළ පද්ධතිය සම්පූර්ණ කි.මී. 4.5ක දිගකින් යුක්තය.

මෙය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය පද්ධතියක් නිසා ජලය වැටුණු වහාම එය ඉබේම ඇදගන්නා ලෙස සකසා ඇත.

මේ පද්ධතිය මගින් එකතුවන ජලය ලීටර් ලක්‍ෂ 15ක් පමණ ගබඩා කිරීමේ ධාරිතාව ක්‍රීඩාංගණයෙන් පිටත ඇති ටැංකි වලට තියෙනවා.

මෙලෙස ක්‍රීඩාංගණ සඳහා ජලය බැසයාමේ තාක්ෂණය මුලින්ම යොදාගෙන තිබෙන්නේ ඇමරිකාවයි.

ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාංගණවලට මෙය අළුත් අත්දැකීමක් වුවත්, එංගලන්තයේ වෙම්බ්ලි, එටිහැඩ් (මැන්චෙස්ටර්) වැනි පාපන්දු ක්‍රීඩාංගණවලද මීට සමාන ක්‍රියාවලියක් දැනටමත් යොදාගෙන තිබෙනවා.

චින්නස්වාමි ක්‍රීඩාංගණයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ සෝලාර් පැනල් භාවිතය මගින් ක්‍රීඩාංගණයේ කටයුතු සිදුකිරීමට අවශ්‍ය විදුලිය නිපදවා ගැනීමයි.

එවැන්නක්ද එක්කර ඇති ලොව පළමු ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙයයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *