Thu. Sep 19th, 2024

අතුරුගිරියේ වෙඩි තැබීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ දෙදෙනා මේ වනවිට දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් මහතා පවසයි.

හදිසි අනතුරු අංශයට කාන්තාවක් හා පිරිමි අයෙකු ඇතුළත් කර තිබූ අතර ඔවුන් දෙදෙනාගේම ඉනෙන් පහළට තුවාල සිදුව ඇතැයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කාන්තාවගේ කකුළේ තුවාලය බරපතළ වුවත් ඇයගේ තත්ත්වය මේ වනවිට ස්ථාවර මට්ටමට පත්ව ඇතැයි ද වෛද්‍යවරයා පැවසීය.

අද (08) උදැසන 10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණේ, අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදීය.

වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්වුණි.

මොවුන් කොළඹ 07 සහ අතුරුගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ. සූජීවා ද තුවාල ලැබූ අතර තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ කේ. සූජීවා සහ පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් කාන්තාවන් දෙදෙනා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.

වෙඩික්කරුවන් මෝටර් රථයකින් පැමිණ ඇති බවට හා වෙඩිතැබීමට ටී 56 ගිනිඅවි දෙකක් භාවිත කර ඇති බව පොලීස් විමර්ශනවලදී අනාවරණය වුණි.

කෙසේ වෙතත් අතුරුගිරියේ වෙඩිතැබීමට පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයා ගත් අතර ඝාතකයින් මෝටර් රථයෙන් මාර්ගයේ දමා වෑන් රථයකින් පළා යන අයුරු ද CCTV කැමරාවල සටහන්ව තිබුණි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *