GOSSIP LOCAL NEWS

ආදරය කරලා විවාහ වෙනවාට වඩා විවාහ වුණාට පසුව ආදරය කරන එක හොඳයි කියලා දැන් හිතනවා..

Written by Aloka

ආදරය කරලා විවාහ වෙනවාට වඩා විවාහ වුණාට පසුව ආදරය කරන එක හොඳයි කියලා දැන් හිතනවා.”

ශලනි තාරකා ශලනි තාරකා කියන්නේ අපේ රටේ ලොකු පොඩි කාගෙත් ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක්. අවුරුදු 17ක් තරම් පුංචි වයසකදී සිරස කුමරිය ලෙසින් කිරුළු පැළඳි ඇය එදා සිට රංගනයට පිවිසෙනවා. ඉතින් අද වෙනකොට ඇය පුංචි තිරයට නැතිවම බැරි රංගන ශිල්පිනියක් වෙලා. ඇය මේ දිනවල විකාශනය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ස්නේහා ලෙසින් අපේ ආලින්දයට එනවා

.ඉතින් මේ චරිතය විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගැනීමට සමත් වෙලා තිබෙනවා.ලැබුණු මේ ජනප්‍රියත්වය ගැන ශලනි පුවත්පතකට මෙලෙස පවසා තිබුණා.“ස්නේහාගේ චරිතය යම්තාක් දුරට මගේ චරිතයට සමානයි. සමහර ජවනිකා මට රඟපාන්න ලේසියි. සිදුවීම් වෙනස් වුණාට ඒ හැඟීම් දන්න නිසා මට පහසුයි ඒ චරිතය ගොඩනඟන්න.

හිටපු ප්‍රේමවන්තයා මියගිය ඒ ප්‍රේමය හිතේ තියාගෙන තවමත් ළතැවෙන තරුණියක් ස්නේහා කියන්නේ. මගේ ජීවිතේ වුණු යම් යම් සිදුවීම් නිසා ඒක මටත් සමීපයි. නමුත් සිදුවීම් වෙනස්. ඒ නිසා මට ස්නේහාව ටිකක් ළඟයි. ඒත් මම එකම දෙයක එළඹගෙන කාලය වැය කරන කෙනෙක් නෙමෙයි. ස්නේහා කියන්නේ එකම දෙයක් මත්තෙම වෙහෙසෙන පිරිමින්ට වෛර කරන එක තැන ජීවිතේ රඳවා ගෙන එයාගෙන්ම පළිගන්න කෙනෙක්.

මම එහෙම නෙමෙයි. මම ඕනේම වේදනාවකින් පීඩා විඳලා කාලයකට පසු යථාවත් වෙන කෙනෙක්. මම රංගනයේදී ආයෙමත් ආදරවන්තියගේ චරිතයක් කරනවා. පසුගිය කාලේ මට ලැබුණෙම ටිකක් සම්හාව්‍ය ගණයේ චරිත සහ වෙනස් චරිත. මේ ටෙලිනාට්‍යය ඇතුළේ තියෙන ගුප්තම චරිතය තමයි ස්නේහා. ඇත්තටම කිව්වොත් ටෙලිනාට්‍යයේ ඉන්න දුෂ්ඨයන්ටත් වඩා වෙනස් ගුප්ත චරිතයක් ස්නේහා.

එයා හරියටම කවුද කියන එක තවම ප්‍රේක්ෂකයන්ට වැටහෙන්නේ නැහැ. මේ ටෙලිනාට්‍යයේ නම “කියාදෙන්න ආදරේ තරම්” නිසා මම හිතනවා ඇය ආදරේ හොයන ආදරේ දෙන්න කැමති තරුණිය කියලා. ඇය ආදරේ අහිමි වුණු තරුණියක්. ඇය ආදරේට වෛර කරනවා. එහෙත් ස්නේහා ආදරේට ලෝභයි කියලා මම දන්නවා.මට මේ චරිතයට ආරාධනා කළේ අධ්‍යක්ෂක ධනුෂ්ක රත්නායක සහ පිටපත් රචක මහේෂ් රත්සර මද්දුමාඅරච්චි.

මේ දෙපළ සමඟම මම වැඩ කරන්න ආසාවෙන් හිටියේ. මේ මම වැඩ කරන මහේෂ් අයියාගේ පස්වැනි පිටපත. ධනුෂ්ක අයියත් එක්ක මීට කලින් මට දිගටම වැඩ කරන්න හම්බුණේ නැහැ. මහේෂ් අයියාගේ පිටපත් කොහොමත් හරිම රහ ආදරේ උතුරන්න තියෙන පිටපත්. සමාජයේ නිතර ගැවසෙන චරිතයි ඔහු කතාවලට අන්තර්ගත කරන්නේ.මේ චරිතය නොහිතන විදිහට ප්‍රේක්ෂකයෝ වැලඳගත්තා.

මුලින්ම ටෙලිනාට්‍යයට සම්බන්ධ වනවිට මම හිතුවේ නැහැ මේ ටෙලිනාට්‍යය මේ තරම් ජනප්‍රිය වෙයි කියලා. අන්තර්ජාලයට ගියත් සාමාන්‍ය ජීවිතයේ වුණත් වයස් භේදයකින් තොරව හැමෝම මේ චරිතයට ආදරෙයි. සමස්තයක් ලෙස ප්‍රේක්ෂකයෝ හැමෝගෙම ආදරේ දිනාගත්ත ටෙලිනාට්‍යයක් බවට “කියාදෙන්න ආදරේ තරම්” පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ ටෙලිනාට්‍යයට වෙනම රූපරචනාවක් සහිත ගීතයක් නිර්මාණය කළා.

පැය හතක් ඇතුළත යූටියුබ් එකේ ට්‍රෙන්ඩින්ග් වුණා මේ ගීතය. හරිම සහයෝගයෙන් අපි හැමෝම මේ ටෙලිනාට්‍ය කණ්ඩායම එක්ක වැඩ කරන්නේ. අපි කොයිතරම් හිතවත් ද කියනවා නම් අපි හැමෝටම අපි නැතුව බැරි තරම්. ඒ නිසා වෙන්නැති මේ ටෙලිනාට්‍ය මේ තරම් සාර්ථක වෙලා තියෙන්නේ.” ඒ වගේම වසර 26කට පසු ජනප්‍රියම නිළිය,දක්ෂතම නිළිය යන සම්මාන ද්විත්වයෙන්ම පිදුම් ලබා වාර්තාවක් අලුත් කරන්නටත් ඇයට හැකියාව ලැබුනා.ඒ 2019 රයිගම් ටෙලි සම්මාන උළලේදියි. ඉතින් ඒ ගැනත් ඇය මේ විදිහට අදහස් දක්වා තිබුනා.

“ඇත්තටම එක අමාරු වැඩක්. එකම සම්මාන උලෙළක හොඳම නිළියට සහ ජනප්‍රියම නිළියට සම්මානනීය වෙනවා කියන එක අහම්බයක්. ඒක පවත්වාගෙන යනවා කියන එක ලොකු අභියෝගයක්. නමුත් ඒ සම්මාන දෙකම හැම අවුරුද්දෙම ගන්න ඕනේ කියලා දෙයක් මට නැහැ. ඇත්තටම මම ජනප්‍රිය නිළිය සම්මානය අත්හැරපු එකක්. පසුගිය අවුරුද්දේ ජනප්‍රියම නිළිය සම්මානය ලැබුණේ මම බලාපොරොත්තු නොවුණු අවස්ථාවකදි. මම හිතනවා ජනප්‍රියම සම්මානය අලුත් අයට ලැබිය යුතු දෙයක් කියලා.

ඔවුන්ගේ පාර හදාගන්න ඔවුන්ව මිනිසුන් හඳුනාගන්න ඒ සම්මානය ඔවුන්ට වටිනවා. ජනප්‍රියම සම්මානය ජනතා ඡන්දවලින් ලැබෙන නිසා ඒ ගැන තීරණය භාර වෙන්නත් ජනතාවටමයි. ඒත් එකම නිළිය එක පිට එක දිගට ජනප්‍රිය සම්මානය ගන්න ඕනෙ කියල නියමයක් නැහැ. ඒත් ලැබිය යුතු නම් ඒ දෙය අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම කොච්චර ජනප්‍රිය සම්මාන අරගත්තත් වැඩක් නැහැ එළියට බැස්සාම මිනිස්සු ඒ කලාකරුවාට ආදරේ නැත්නම්. නමුත් මම උත්සාහ කරනවා හැම වසරේම හොඳම නිළියට නිර්දේශ නාමයන් අතරට යන විදිහට වැඩ කරන්න.

”ඒ වගේම වයස අවරුදු 32ක් පමණ වෙලත් තවමත් තනිකඩ වීම ගැනත් ඇය මේ විදිහට පවසා තිබුණා.

“ආදරේ කරනවා නම් ඒ පුද්ගලයා වෙනුවෙන් වෙනම වේලාවක් වෙන් කරන්න ඕනේ. මේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඒක ටිකක් අමාරුයි සහ මම විවාහය කියන කාරණාවට ඉක්මන් වෙන්නේ නැහැ. අපේ ජීවිතයට කෙනෙක් එන්න ඉන්නව නම් ඒ කෙනා හරිම වෙලාවට එයි. මටත් ඉරණම්කාරයෙක් කොහෙහරි ඇති. එයා වෙලාවට එයි. ආදරය කරලා විවාහ වෙනවාට වඩා විවාහ වුණාට පසුව ආදරය කරන එක හොඳයි කියලා දැන් හිතනවා.”

About the author

Aloka

Leave a Comment