LOCAL NEWS

දුව දවස් 20කම මිනියට කෑම දීලා.

Written by Aloka

දීයණියක සමග වාසය කරමින් සිටිය දී දින විස්සකට පමණ පෙර මියගිය බවට සැක කෙරෙන කාන්තාවකගේ මළ සිරුරක් පෙරේදා 23 වැනිදා සවස සොයාගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය පවසයි. තම මව මිය ගිය බව නොදත් දියණිය මෙම දින කිහිපය පුරා මළ සිරුර සමග නිවෙස තුළ ජීවත්ව සිට ඇති අතර ඒ කාලය තුළදී මළ සිරුරට කෑම බීම පවා මෙම දියණිය විසින් ලබා දී ඇතැයි පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ නුගේගොඩ ගංගොඩවිල පැතිරිවත්ත වේරපිටියගේ පමිණී පතිරණ (74) හැවිරිදි එක්දරු මවක බව පොලිසිය කියයි. මියගිය කාන්තාවගේ සැමියා, දියණිය කුඩා කලම මියගොස් ඇති අතර පසු දෙදෙනා හුදකලාව නිවසේ ජීවත්ව සිට ඇති අතර ආබාධිත දියණීයක නිවසේ සිටින නිසා නිරන්තරයෙන් නිවසේ දොරගුලු වසා තිබෙන බව ද පොලීසිය කියයි.

මේ හේතූවෙන් අසල්වාසීන් මොවුන් සමග නිරන්තර සබඳතා නොපවත්වන අතර ඉකුත් 23 වැනිදා සවස නිවස දෙසින් අධික දුගඳක් වහනය වීම නිසා ඒ පිළිබදව අසල්වාසියකු 119 හදිසි ඇමතුම් අංකයට ලබාදුන් තොරතුරකට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් තිබේ. එම අවස්ථාව වන විටත් නිවෙස දෙසින් අධික දුගඳක් වහනය වෙමින් තිබී ඇති අතර නිවසේ දොරගුලු ද වසා තිබී ඇති බව පොලිසිය කියයි. ඒ අනුව පොලිසිය නිවැසියන්ට කතා කළ ද ඊට ප්‍රතිචාරයක් නොවීම නිසා නිවසේ පිටුපස දොරකින් ඇතුළු වී පරික්ෂා කිරීමේ දී මුළුතැන් ගෙයි උඩුබැලි අතට වැටී මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව පොලීසිය තියයි – එම අවස්ථාව වන විටත් මළ සිරුර හඳුනා ගත නොහැකි තරමටම දිය වී තිබූ අතර දින විස්සකට පමණ පෙර මියගොස් ඇති බවට පොලීසිය සැක කරයි.

තවදුරටත් නිවෙස පරික්ෂා කිරිමේ දී නිවසේ කාමරයක් තුළ කාන්තාවක රැඳී සිට හමුවී ඇති අතර ඇය මියගිය කාන්තාවගේ 45 හැවිරිදි දියණිය බවත් ඇය කිසියම් ආබාධයකින් පෙළෙන්නියක බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය කියයි. සිද්ධිය වූ ස්ථානයට නුල්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් තිස්ස විජයරත්න මහතා පැමිණ ස්ථානීය පරික්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යාමට පොලිසියට නියෝග කළේය. මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ දී සිදු කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ම ජුල තුෂාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අමිල ගෝවින්න මහතාගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරික ගුණරත්න, කොස්තාපල් (1610) මහේෂ්, (80934) තෙන්නකෝන්, (89716), දර්ශන, (925l6) සුරංග, (92904) උදයංග, (95262) අජිත්, කාන්තා පොලිස් කොස්තාපල් (11879) කෙශල්‍ය ඇතුළු නිලධාරිහු ඉදිරි පරික්ෂණ පවත්වති.

About the author

Aloka

Leave a Comment