Paththare

Official Paththare Web Portal

රටක් ම හැඬවූ හර්ෂණී ගැන, තම මල්ලි කල ආන්දෝලනාත්මක කතාවක්..

“මට මගේ පණවගේ හිටපු චූටි අක්කව අමතක කරන්න බැහැ අයියේ. එයා තමයි මගේ හොඳම යාළුවා. අක්කලා දෙන්නා කසාද බැඳලා ගෙදරින් ගියාට පස්සේ මාත් එක්ක රණ්ඩුවෙවී .. යාළුවෙවී හිටපු මගේ සුරංගනාවිය. මම කොහොමද එයාව අමතක කරන්නේ..”

දෙනුවන් ඉකි ගසමින් ප්‍රශ්න කරන්නේය.

යොවුන් වයසේ පසුවන දෙනුවන් ප්‍රසාද් ධර්මවික්‍රම තම සහෝදරියගේ වියෝවෙන් මෙසේ හඬා වැලපෙන්නේ හැබෑවටම ඔහු තුළ ඇති ශක්තිමත් සහෝදර බැඳීම නිසාය.

“බලන්න … එයා අපි හැමෝම දාලා සදහටම යන්න යනවා. මෙහෙමවත් හෙට ඉඳලා අපිට එයාව දකින්න නැහැනේ.” දෙනුවන් පෙර පරිද්දෙන්ම එසේ තියා උණු කඳුළු පිස දැමුවේය.

මහ ගෙදර සාලයේ සුවෙන් නිදන හර්ෂණීගේ දේහය තවත් පැය කීපයකින් අවසන් කටයුතු සඳහා රැගෙන යෑමට නියමිතව ඇත.

වත්තල පෞද්ගලික රෝහලකදී සැත්කමකට භාජන වී එයින් පසුව හදිසියේ ඇතිවූ අසාධ්‍ය තත්ත්වයක් නිසා රාගම මහ රෝහලට ඇතුළත් කොට සිටියදී එසේ මිය ගියේ ජාඇළ දෑලතර පදිංචි බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රමය මේ. අවාසනාවන්ත මරණය ගැන රටක් කතා කරද්දී අපි ජාඇළ දෑලතර පිහිටි මේ නිවෙස සොයා ගියේ හර්ෂණී මුහුණදුන් මේ අභාග්‍ය සම්පන්න සිදුවීමට අදාළ තවත් බොහෝ සැඟවුණු තොරතුරු සොයා ගැනීමේ අපේක්ෂාවෙනි.

“අපේ අක්කට ඉහෙන් බහින කිසිම ලෙඩක් තිබුණේ නැහැ. එයා හරිම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් හිටපු, ඒ වගේම විනෝදයෙන් හිටපු කෙනෙක්. අපි මොනවා හරි කරන්න ප්ලෑන් කළත් එයා තමයි ඒකේ පෙරමුණ ගන්නේ. හැමදේම සැලසුම් කරන්නේ.

මගේ අක්කා එක දේකට විතරක් දක්ෂ කෙනෙක් නෙමෙයි. එයාට නටන්න, සින්දු කියන්න වගේම උයන්න, පිහන්නත් පුළුවන්. එයාට හැමදේම වගේ ඉක්මනින්ම ලැබුණා. හොඳ ස්වාමිපුරුෂයෙක් ලැබුණා. රසික අයියා අපේම පවුලේ කෙනෙක් විදියට තමයි ඒ දෙන්නා දැන හඳුනාගෙන ආදරය කරන කාලේ ඉඳලම හිටියේ. ඉතින් එහෙම අක්කව තමයි හොරු අරන් ගියා වගේ අපෙන් උදුරලා ගත්තේ.

මේක ඇත්තටම වෛද්‍යවරයාගේ නොසැලකිලිමත්කමින් සිදුවෙච්ච දෙයක්.” දෙනුවන් එසේ කියමින් මේ කතාවේ අපි නොදත් තවත් බොහෝ දේ කියන්නට පටන් ගත්තේය.

හර්ෂණී විවාහ දිවියට එළැඹෙන්නේ පසුගිය අගෝස්තු මස 13 වැනිදාය. ඒ දවස ධර්මවික්‍රම පවුලේ සාමාජික සාමාජිකාවන්ට කිසිදා අමතක නොවන අපූරුතම දවසකි.

“අක්කා එදා හිටියේ සුරංගනාවියක් වගේ. හරිම ලස්සනයි. හරිම පිළිවෙළයි. එයා හදවතින්ම ආදරය කරපු රසික අයියා එක්ක හිටපු විදිය හා ඒ දවසෙ සිදුවුණු දේවල් අපිට හීනයක් වගෙයි. අපි එයා එක්ක නැටුවා. කෑගැහුවා. සින්දු කිව්වා. දෙවියනේ මොනවද නොකළේ.”

මේ ආකාරයට වසර කීපයක් ඇසුරු කළ රසික ජයකොඩි සමඟ විවාහ වූ හර්ෂනීගේ ඊළඟ බලාපොරොත්තුව වූයේ තම ආදරණීය ස්වාමි පුරුෂයා සමඟ ඕස්ට්‍රේලියාවට යන්නටය.

“මගේ රසික අයියා හරිම හොඳ කෙනෙක්. එයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. හොඳට ක්‍රිකට් ක්‍රීඩාව පවා කරන කෙනෙක්. ඉතින් චූටි අක්කා එයත් එක්ක ගිහින් යහපත් පවුල් ජීවිතයක් ආරම්භ කරන්න තමයි හීන මැව්වේ.”

මේ විධියට විවාහ දිවියට ඇතුළත් වූ හර්ෂණී එම උත්සවයෙන් දින දෙකකට පසුව රෝගී වූවාය. ඒ සුළු උදරාබාධය නැවත වරක් ඇති වීමය.

“මේ සුළු බඩේ අමාරුව මුලින්ම හැදුණේ අගෝස්තු 01 වැනිදා වගේ දවසක. ඒ අනුව අක්කා පවුලේ වෛද්‍යවරයා ළඟට ගියා. ගිහින් ප්‍රතිකාර ලබා ගත්තා.

එහෙම ප්‍රතිකාර ලබාගෙන ඇවිත් මගේ චූටි අක්කා එයාගේ වෙඩින් එකට ලෑස්ති වුණා.”

අපි පෙර කී පරිදි ඇය අගෝස්තු 13 වැනිදාට යෙදුණු විවාහ මංගල උත්සවය වෙනුවෙන් උනන්දුවෙන් යුතුව කටයුතු කළාය. කිසිදු රෝගාබාධයක්, වෙනසක් ඇය තුළින් දිස්වුණේ නැත.

කෙසේ හෝ විවාහයෙන් දින දෙකකට පසුව යළිත් වතාවක් ඇගේ උදරාබාධය මතුවීමට පටන් ගැනුණි.

එයින් පසුව යළිත් වතාවක් හර්ෂණී පවුලේ වෛද්‍යවරයා වෙත යොමු විය.

“ඊට පස්සේ තමයි අපි හසංජන ගුණවර්ධන වෛද්‍යවරයා වෙත යොමු වුණේ. ඇත්තටම අපේ පවුලේ වෛද්‍යවරයා ඔහු ළඟට යැව්වේ, මේ වෙනුවෙන් උපදෙස් ගන්න. ඒත් ඔහු අපි එක්ක සුහද වෙලා මේ සම්බන්ධව දිගින් දිගට කතා කරලා පරීක්ෂණ සඳහා යොමු කරවලා අන්තිමේදී ශල්‍යකර්මය දක්වාම අපිව මෙහෙයෙව්වා.

අපිට ඕන වුණේ අක්කව සුවපත් කරගන්න විතරනේ.”

දෙනුවන් ප්‍රසාද් පවසන ආකාරයට පෙර කී වෛද්‍යවරයා විසින් හර්ෂණීගේ උදරාබාධයට බලපා ඇති හේතුව සොයා ගැනීමට වෛද්‍ය පරීක්ෂණ දෙකක් සිදු කරන්නේය.

“මේ පරීක්ෂණවලින් පස්සේ ඔහු අපිට කිව්වා අක්කගේ පිත්තාශය තුළ ගල් තිබෙනවා කියලා. ඒවා ලොකුවටම නැහැ පුංචි ගල් ප්‍රමාණයක් තිබෙන්නේ කියලත් කිව්වා. ඊළඟට කිව්වා සුව කරන්න නම් පිත්තාශය ඉවත් කිරීමට සිදුවෙනවා. ඒකත් පුංචිම පුංචි සැත්කමක්. ලොකුවට හිතන්න එපා කියලා.

ඔන්න ඔහොම තමයි අපිව මේ ශල්‍යකර්මය සඳහා කැමැති කරවා ගත්තේ.”

වෛද්‍ය පරීක්ෂණවලින් පසුව හර්ෂණීගේ සැත්කම සඳහා දින ලැබුණේය. ඒ අනුව අගෝස්තු මස 31 වැනිදා ඇය රෝහල්ගත විය.

“අක්කා රෝහල් ගත වෙද්දිත් හිටියේ හොඳ සෞඛ්‍ය තත්ත්වයකින්. වෛද්‍ය පරීක්ෂණවලට යද්දිත් හිටියේ ඉතා හොඳ මානසික මට්ටමකින්.”

“එහෙම ගිහින් සැත්කමට දින ලැබුණහම අගෝස්තු 31 වැනිදා වෙනතුරු ජීවිතේ වින්දා. අපිත් එක්ක ටි්‍රප් ගියා. සංගීත සන්දර්ශන බලන්න ගියා. ගිහින් ඩාන්ස් කළා. මට හිතාගන්න බැහැ එහෙම හිටපු අක්කා කොහොමද ජීවිතය හැර යන තරමට රෝගී වුණේ කියලා. ඇත්තටම අක්කා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන තත්ත්වය දක්වා පත්වුණේ ශල්‍යකර්මයෙන් පසුවයි.”

පෙර කී වත්තල පෞද්ගලික රෝහලකදී පිත්තාශය ඉවත් කිරීමේ ශල්‍යකර්මයට ලක්වූ හර්ෂණීට හොඳ සිහියක් තිබුණේ නැත. ඇය ශාරීරිකව දුර්වල විය. වෛද්‍යවරයා කී පරිදි එය සුළු ශල්‍යකර්මයක් නොව කුමක් හෝ මහා අකරතැබ්බක් සිදුවී ඇති බව ඒ තුළින් පවුලේ උදවියට අවබෝධ විය.

“මේ ඩොක්ටර් අපිට මුලින් කිව්වේ ඔපරේෂන් එකෙන් පස්සේ දවසක් දෙකක් යද්දී ගෙදරත් යන්න පුළුවන් කියලයි. ඉක්මනින්ම විවාහ_ජීවිතයේ සතුට සමරන්න පුළුවන් විධියට හැමදේම හරි ගස්සලා දෙන බවත් කිව්වා. ඔහු හරිම මිත්‍රශීලි විදිහට තමයි ඒක කළේ.

ඒත් ඔපරේෂන් එකෙන් පස්සේ තත්ත්වය වෙනස් වුණා. අක්කට මුත්‍රා එක්ක රුධිරය පහ වෙන්න පටන් ගත්තා. උදරය ඉදිමෙන්න පටන් ගත්තා. ඇවිදින්න බැරිව වේදනාවෙන් කෑ මොර දෙන තත්ත්වයට ඇය පත්වුණා.”

මේ අභාග්‍යසම්පන්න සිදුවීම දෙස බලාසිටීමට හර්ෂණීගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ රසිකට මෙන්ම ප්‍රිය සොයුරු දෙනුවන් ප්‍රසාද්ට දරාගත නොහැකි විය. ඔවුහු වහා අදාළ වෛද්‍යවරයා හමුවී මේ පිළිබඳව කතා කළෝය.

“මේ ‍ෙදාස්තර ඒ වෙලාවෙත් හැසිරුණේ ගානක් නැතිව. හරිම සරලව කිසිම දෙයක් ලොකුවට ගත්තේ නැති විධියට තමයි හැසිරුණේ. “සුළු ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. ඒක අපි හදමු” කිය කියා හිටියා.

කොහොම හරි මේ දේ අපිට රුස්සන්නේ නැති වුණා. ඒ නිසාම රසික අයියයි මමයි කතා කරලා අක්කව රාගම මහ රෝහලට මාරු කර ගන්න හිතුවා. ඒ අනුව තමයි සැත්තැම්බර් 01 වැනිදා අක්කව රාගම රෝහලට අරන් යන්න සැලසුම් කළේ.

ඇත්තටම අපි එහෙම කළේ ඒ වෙද්දීත් අපිට මේ වෛද්‍යවරයා ගැන යම් යම් වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලය අනතුරු හඟවා තිබුණු නිසයි. ඔහු ගැන කිසිදු ප්‍රසාදයකින් කවුරුත් කතා කළේ නැහැ. ඇයි සැත්කම කරන්න මෙයාට භාර දුන්නේ කියලත් ඇහුවා.”

රාගම මහ රෝහලට ඇතුළත් කළ හර්ෂණීව ඒ අනුව යොමු කෙරුණේ එහි දැඩි සත්කාර ඒකකය වෙතය. ඒ අනුව පසුගිය සැප්තැම්බර් 25 වැනිදා දක්වාම මේ පියකරු තරුණිය ජීවිතයත් මරණයත් අතර සටනක මැදිව මානසිකව හා ශාරීරිකව දුක් වින්දාය.

“දැඩි සත්කාර ඒකකයේ හිටපු අක්කව හැමදාමත් බලන්න ගියේ මමයි රසික අයියයි. මම අම්මල එතැනට යනවට කැමති වුණේ නැහැ. ඒ අම්මා ඇත්ත තත්ත්වය දැනගෙන අඬයි ‍ෙදාඩයි කියලා. ලෙඩවෙයි කියලා. මොකද මගේ තාත්තාත් ටික කාලෙක ඉඳලා ඉන්නේ රෝගී වෙලානේ.”

රාගම දැඩි සත්කාර ඒකකයට නිතර ගිය දෙනුවන්ට එක් දවසක රාත්‍රියේදී හර්ෂණී අක්කාව බැලීමට යෑමට නොහැකි විය. එහෙත් පසුදා ඔහු ඇගේ ඇඳ අසලට ගියේ ඕනෑකමින්ම මවාගත් බොරු සතුටකින් මුහුණ පුරවාගෙනය.

“අක්කා ඉන්න තත්ත්වය අනුව මට මගේ දුක පෙන්නන්න බැහැ. ඉතින් මම බොරුවට හලෝ මචාං කොහොමද? කියලා කිට්ටු වෙලා ඇහුවා. අක්කාත් බොරුවට වගේ මට හිමිහිට තොල්පෙතිවලින් කිව්වා ‘තරහයි‘ කියලා. ඒ මම කලින් දවසේ රෑ එයාව බලන්න නොගිය නිසා. පේනව නේද අපි දෙන්නගේ ආදරේ වගේම බැඳීම කොහොමද කියලා.” දෙනුවන් ප්‍රසාද් එසේ කියා නැවත කෑගසා හඬන්නට පටන් ගත්තේය. මම ඔහුට මොහොතක් ඉඩදී නිහඬව උන්නෙමි.

“මගේ චූටි අක්කා හැමදේම කතා කළේ සැලසුම් කළේ මා එක්ක. පුංචි කාලේ ඉඳලම අපි දෙන්නා එහෙමයි. එයා පවුලේ තුන්වැනියා. මම හතරවැනියා. ඉතින් සෙල්ලම් කළෙත් එකටමයි.” දෙනුවන් වචන එකතු කරමින් අපහසුවෙන් යුතුව කීවේය.

දෙනුවන් ප්‍රසාද් තම ආදරණීය චූටි අක්කාගේ අසනීප තත්ත්වය ගැන කෙතරම් කලබල වූවා දැයි පවසනවා නම් හර්ෂණී මියයෑමට දිනකට දෙකකට කලින් ඔහු හදිසියෙම අනතුරකට පත් වන්නේ මෝටර් සයිකලය පදවාගෙන යන අතරතුරේදීය.

“ඒ අනතුරින් මගේ අතකට වගේම තවත් තුවාල ඇතිවුණා. මම හිටියේ රාගම රෝහලේම උඩ වාට්ටුවක. මම ඒ වාට්ටුවෙන් එළියට ආවේ ඇඟේ උඩ රෙද්දකින් වහගෙන. දැඩි සත්කාර ඒකකයේ සීතල ඉවසා ගන්න බැහැ වගේ රෙද්දත් දාගෙන අක්කා ළඟට ආවා.”

අනේ ඉතින් අන්තිමට අපි හැමෝම ළඟ ඉද්දී එයාගේ පණ ගියා. එයා අපිව දාලා ගියා. ඒක මහ පුදුම සමුගැනීමක්. හිතාගන්න බැරි අෑත්වීමක්.

රාගම රෝහල් ආරංචි මාර්ගවලට අනුව හර්ෂණීගේ මරණයට හේතුවී ඇත්තේ ශල්‍යකර්මයේදී සිදු වූ සංකූලතාය. මෙවැනි සංකූලතා ඇති වීමට හේතුවී ඇත්තේ අදාළ ශල්‍යකර්මය සිදු කිරීමේදී සිදුවූ අතපසුතාවන් නිසා බවද කියැවේ.

කෙසේ හෝ දැන් හර්ෂණීගේ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ උදවිය සූදානම් වන්නේ මේ පිළිබඳව නීති මඟින් කටයුතු කිරීමටය.

“මුකුත් වෙන්නේ නැහැ. පුංචි ශල්‍යකර්මයක්. ලොකුවට හිතන්නට එපා. දවසකින් දෙකකින් ගෙදර යන්න පුළුවන්” කියලා සැත්කම කළ වෛද්‍යවරයා දැන් මොනවද කියන්නේ.

මේ ශල්‍යකර්මය ගැන ඇතැම් වෛද්‍යවරු අපිව දැනුවත් කළේ මොකටද මේ ශල්‍යකර්මය කළේ කියන කාරණය ඉස්මතු කරමින්. ඇත්තටම අපේ අක්කාගේ පිත්තාශය තුළ තිබුණේ පුංචිම පුංචි ගල් කැට කිහිපයක් විතරයි. ලොකු ඒවා නෙවෙයි.

එහෙම තත්ත්වයක් තුළ මෙහෙම කළේ ඇයි. ‘කළා – මළා’ කියන නමක් පටබැඳලා තිබෙන වෛද්‍යවරයකුගෙන් මෙහෙම සේවාවක් ලබා ගත්තේ ඇයි කියලත් ලොකු ලොකු වෛද්‍යවරු අපෙන් ප්‍රශ්න කළා. දෙවියනේ අපි මේ වෛද්‍ය ක්‍ෂේත්‍රය ගැන දන්නේ නැහැනේ. අපි සාමාන්‍ය මිනිස්සුනේ. ඉතින් දැන් දන්න අය මීට එරෙහිව ක්‍රියා කළ යුතුයි. ඉදිරියට මේ වගේ දේවල් ඇති නොවන්න බලධාරීන් වගබලාගත යුතුයි.

දැන් මේ ගැන අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පවත්වන්න හදනවා. මෙවැනි මාෆියාවලට අහුවුණු කිහිපදෙනෙක්ම අපිට මේ සිදුවීමෙන් පසුව හඳුනා ගන්න ලැබුණා. දෙවියනේ ඇයි මිනිස්සුන්ට මෙහෙම කරන්නේ.”

දෙනුවන් හා රසිකගේ පාර්ශ්වවලින් හර්ෂණීගේ ජීවිතය බේරා ගැනීමට අති විශාල දායකත්වයක් හා කැපකිරීමක් සිදුකළේය. ලක්ෂ ගණන් වටිනා ඔෟෂධ හා එන්නත් ගෙනැවිත් ඒ සහයෝගය ලබා දුන්නේද හර්ෂණීගේ ජීවිතය බේරා ගැනීමටය. එහෙත් ඇය දෙව් මවු තුරුලට යන්නට ගියේ කිසිවකු බලාපොරොත්තු නොවූ ආකාරයටය.

“ඇත්තටම මේ වෙලාවේ රාගම මහ රෝහලේ වෛද්‍යවරු ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට හදවතින්ම අපි පින් දෙනවා. ඔවුන් මගේ අක්කාගේ ජීවිතේ බේරා ගන්න මහා දායකත්වයක් ලබා දුන්නා.” දෙනුවන් ප්‍රසාද් හැඬූ­ කඳුළින්ම කීවේය.

හර්ෂණීගේ ජීවිතය දෙසට ආපසු හැරී බැලීමේදී මහ පුදුමාකාර දේවල් රැසක් සිදුවී තිබේ. ඇයගේ විවාහය, දින දෙකකින් රෝගී වීම, නැවත සුවවී උපරිමයෙන්ම විනෝද වීම. එමෙන්ම සැප්තැම්බර් 02 වැනිදා ඇය බෙහෙවින් ඇලුම් කළ අක්කාගේ දරුවාගේ උපන් දිනය සැමරීම. ඒ කෙටි කාලයක එක දිගට සිදුවිය. එමෙන්ම ඇය මියගොස් ඇගේ දේහය නිවෙසට රැගෙන එන්නේද ඇගේ උපන් දිනය දවසේය.

සැබැවින්ම ජීවිතය මහ පුදුමාකාරය. ගැටලු සහගතය. හර්ෂණීගේ හදිසි සමුගැනීම තුළ ඇත්තේද විසඳුම් නැති ව්‍යාකූලව ගෙවන අපේ ජීවිතවල යථාර්ථයය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ – මව්බිම පුවත්පත..