LOCAL NEWS

19 හැවිරිදි තරුණයා අමු අමුවේ ඝාතනය කර පැදුරක ඔතා ළිඳට දැමූ සාහසිකයා සියල්ල වැමැරූ හැටි

Written by Aloka

හිසට පහරදීමෙන් පසුව ළිඳට දමා කිලිනොච්චිය රත්තිනපුරම් ප්‍රදේශයේ තරුණයකු ඝාතනය කළ ඔහුගේ ඥාති සොහොයුරකු පෙරේදා (01දා) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ මියගිය තරුණයා දිගු කලක සිට මිත්‍රයන් සමඟ සිගරැට් බීමට ඇබ්බැහිවී සිට ඇති අතර එය නතර කරන ලෙස සැකකරු අවවාද කිරීමත් සමඟ ඇතිවූ බහින්බස් වීමක් අතරතුරදී සිදුකළ පහරදීමකින් ඝාතනය සිදුව ඇති බවට අනාවරණය වී ඇති බවයි.

පසුගිය අගෝස්තු 12 වැනිදා ඝාතනය සිදුකොට ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පැනගොස් සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවැසීය.

කිලිනොච්චිය, රත්තිනපුරම් ප්‍රදේශයේ පදිංචි පද්මරාජා කෝමරාදන් නමැති 19 හැවිරිදි තරුණයකු එලෙස ඝාතනය කොට තිබිණ.

සැකකරු හා මියගිය තරුණයා අතර වූ බහින්බස් වීමක් අතරතුරදී සැකකරු බ්ලොක් ගලක් ගෙන මියගිය තරුණයාගේ හිසට පහරදී ඇති අතර, පසුව සිහිනැතිව ඇදවැටී සිටි තරුණයාගේ සිරුර පැදුරක ඔතා නිවෙස ආසන්නයේ පාළු ඉඩමක තිබූ ළිඳකට දමා ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලිසිය පැවැසීය. පොලිසිය පැවසුවේ පහරදීමෙන් දින දෙකකට පසුව මියගිය තරුණයාගේ සිරුර ළිඳ තුළ තිබී සොයාගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය, රත්තිනපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක පුද්ගලයෙකි.

සැකකරු කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කිලිනොච්චිය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අසංක බණ්ඩාර ගුණතිලක මහතාගේ උපදෙස් හා අධීක්‍ෂණය යටතේ කිලිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

About the author

Aloka

Leave a Comment