Sat. Jul 27th, 2024

138 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති හෙට (මැයි 01) දිනයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන දිවයින පුරා මැයි රැළි රැසක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

කොළඹ නගරය ආශ්‍රිතව පමණක් රැළි 14ක් පැවැත්වෙන අතර, එහි සියලුම ප්‍රධාන පක්ෂ නියෝජනය කරන රැළි සියල්ලද ඇතුළත්.

ඉන් එක්සත් ජාතික පක්ෂයේ රැළිය මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ පැවැත්වෙන අතර, ඔවුන්ගේ තේමාව වි ඇත්තේ ‘යළි නොවැටෙන අභිමානවත් රටක්’ යන්නයි.

පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැළියට ලක්ෂය ඉක්මවූ ජනතාවක් පැමිණෙන බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, රැළිය අවසන්වීමෙන් පසු රාත්‍රී කාලයේදී ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් සහභාගිවන සංගීත ප්‍රසංගයක්ද පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි.

මේ අතර සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයේ මැයි රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පහළ චැතම් වීදියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම එම පක්ෂය වතුකරයේ ජනතාව වෙනුවෙන් තවත් රැළියක් තලවකැලේ ප්‍රදේශයේදීද පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එම රැළි දෙකම සජිත් ප්‍රේමදාස මහතා ඇමතීමට නියමිතව තිබෙනවා.

‘සමගි රටක් අනගි හෙටක්’ තේමාව යටතේ පැවැත්වෙන මෙම රැළි අතරින් කොළඹ රැළියට ලංකාවේ නන් දෙසින් ලක්ෂයකට අධික ජනතාවක් පැමිණෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා.

ඔහු පවසන්නේ මෙය විපක්ෂය හැටියට සමරණ අවසාන මැයි රැළි බවයි.

ශ්‍රී ලංකා පොදුජණ පෙරමුණේ මැයි රැළිය බොරැල්ල කැම්බල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ඔවුන්ගේ තේමාව වී ඇත්තේ ‘දිනන රටක් එක ගමනක්’ යන්නයි.

‘රට හඳන විසදුමට ජන බලය එක පෙළට’ යන තේමාව මුල්කරගනිමින් ජාතික ජන බලවේගය මැයි රැළි 04ක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඉන් ප්‍රධාන රැළිය කොළඹ රැළිය විහාර මහා දේවී උද්‍යානය අසල සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මාවතේදී පැවැත්වෙනවා.

අනෙක් රැළි පැවැත්වෙන්නේ යාපනය, මාතර සහ අනුරාධපුර නගර කේන්ද්‍ර කරගනිමින්.

මේ අතර අර්බුධයකට ලක්ව තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයද රැළියක් සංවිධානය කර තිබෙන අතර, එය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැළියේ තේමාව වී ඇත්තේ ‘රට රකින ජන පවුර’ යන්නයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයද මැයි රැළියක් කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

‘වැඩකරන ජනතාවනි අයි.එම්.එෆ්. මර උගුල හා ඉන්දියානු විජිතකරණය පරදවමු’ ඔවුන්ගේ තේමාව වී තිබෙනවා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *