Fri. Apr 11th, 2025

මහනුවර මැණික්හින්න රෝහලට හදිසි රෝගීයකු ඇතුළත් කළ අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගියා ඇතුළත් කිරීමට පැමිණි පිරිස අතර ඇතිවූ බහින් බස් වීමකින් පසු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් පහර දීමෙන් පුද්ගලයන් 7දෙනෙකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුලත් කර තිබේ.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ දිගන පදිංචි පුද්ගලයන් හත් දෙනෙකි.

ඊයේ (28) රාත්‍රී මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති අතර එය පාලනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද කැඳවීමට පියවර ගෙන තිබිණි.

මැණික්හින්න ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරවාරයේ තුවාල ලැබු පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙනවිත් ඇති අතර එහිදී රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් ද අවුරුදු උත්සවයකට සහභාගීවී තිබීම හේතුවෙන් ප්‍රතිකාර කිරීමට ප්‍රමාද වී ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධවෙන් විමසීමේ දී රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ තුවාල ලැබු පාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.

මෙය ගැටුමක් දක්වා වර්ධනය වී ඇති අතර එහිදී වෛද්‍යවරයකු සහ තවත් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් කීප දෙනකු රෝහලේ පුටුවලින් පවා පහරදීම් සිදු කළ බව පහර කෑමට ලක්වූවෝ පැවසූහ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලද දුරකතන පණිවුඩයක් අනුව මැණික්හින්න පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් පැමිණ දෙපාර්ශවයේ තුවාලකරුවන් රෝහල් ගත කිරීමට පියවර ගනු ලැබීය.

මෙම කළහකාරී සිද්ධියේදී වාහන කීපකටද අලාභහානි සිදුව තිබේ.

සිද්ධිය වන අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය බීමත්ව සිටියේ දැයි දැන ගැනීමට පරීක්ෂණ සිදු කරයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *