LOCAL NEWS POLITICAL

මම කී දේ ඇහුව නම් ගෝඨාභය තවමත් ජනාධිපති..

Written by Aloka

ගෝල්ෆේස් අරගලයට ගොස් නිරුපද්‍රිතව පැමිණි එකම මන්ත්‍රිවරයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය. අරගලයේදී ඔහුට විරෝධයක් එල්ල නොවූයේ කුමාර් ගුණරත්නම් සමග ඔහුට තිබෙන පැරැණි සබඳතාවක් නිසා බව කියැවිණි. ඒ අතරේ තවත් කතාවක් පැතිර ගියේ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා හමුදාව සමග එක් වී රට අල්ලන්න යන බවය. මේ එම කතාවලට ඔහු උත්තර දුන්නේ මෙසේය.

ඔබේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස අරගල බිමේ ගුටි කෑවා. ජවිපෙ වසන්ත සමරසිංහට ද ප්‍රහාරයක් එල්ල වුණා. 225 එපා කියන අරගලකරුවන් අතරට ඔබ තනියෙන් ගිහිල්ලා ගුටි නොකා එන්නේ කොහොමද?

අරගලය පටන් ගත්ත දින සිටම මගේ ආශිර්වාදය තරුණ දරුවන්ට දුන්නා. මම ඔවුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කළා. අරගල භූමියේ පාර්ශ්ව ගොඩක් සිටිනවා. එහි එක් පිරිසක් තමයි මට කතා කළේ. පස්සේ මම එතැනට ගියා. ගිහිල්ලා මම සෙනඟ අතරට වටේම ගිහිල්ලා ආපහු ආවා. මට කවුරුත් ගහන්න ආවේ නැහැ.

ඔබ එදා අරගල භූමියට ගියේ පෙරටුගාමීන් සමග තිබූ එකඟතාවන් නිසාද?

ඇත්තටම මට කතා කළේ පෙරටුගාමීන් නෙමේ. අරලියගහ මන්දිරය ඉදිරිපිට සිටින පිරිසයි. ඒ අය තමයි මාව වටේම එක්කරගෙන ගියේ. ඒ අය අරගල භූමියේ සිටින අනිත් පාර්ශ්ව සමග කතා බහ කරලා තිබුණා. ඒ හැමෝම මම එතැනට එනවාට එකඟවෙලා තිබුණා. මම පෙරටුගාමී වෙන්නේ කොහොමද මම සමගි ජන බලවේගයේ සභාපති.

ඔබ කුමාර ගුණරත්නම් සමග බොහොම හිතවත් නිසා බය නැතිව ගෝල්ෆේස් ගියා කියලා කියනවා නේද?

එවකට ජවිපෙ නායකයෙක් වූ කුමාර ගුණරත්නම්ව 1989 දී ත්‍රිකුණාමලයේ දී ඇල්ලුවේ මම තමයි. ඊට පස්සේ මම ඔහු දැකලත් ටෙලිෆොන් එකෙන් කතා කරලවත් නැහැ. ඔය මෝඩයෝ මඩ ගහන්න කියන කතා කියලා තමයි මට කියන්න තිබෙන්නේ. දේශපාලනඥයන්ට මඩ ගහන්න සහ බොරු කතා හදන්න පිරිසක් මේ සමාජයේ ඉන්නවා. කුමාර ගුණරත්නම් කරන දේශපාලනය නෙමේ වසර දොළහක් තිස්සේ මම කරන්නේ. එය තේරුම් ගන්න ඕන. මම දේශපාලනය කරන ආකාරය රටේ ජනතාව දන්නවා. මට කුමාර ගුණරත්නම්ගෙන් හෝ ඔහුට මගෙන් ලබා ගැනීමට කිසිවක් නැහැ.

අසූ නමය වසරේ දී කුමාර ගුණරත්නම්ව විතරද අල්ලා ගත්තේ?

ඔහු විතරක් නෙමේ. දෙසිය පණහක පිරිසක් අපි අල්ලාගත්තා. එතැන සිටි පිරිසගෙන් ඇතැමුන් පාර්ලිමේන්තු ආවා. සමහරු වීරවංශගේ පක්ෂයෙනුත් ආවා. එහෙනම් ඒ සියලු දෙනා සමගම මගේ ගනුදෙනු තිබිය යුතුයිනේ.

ජනාධිපතිකම හෝ අගමැතිකම භාර ගැනීමට ඔබගේ බලාපොරොත්තුවක් තියෙනවද?

යම්කිසි යාන්ත්‍රණයකින් ප්‍රජාතන්ත්‍රවාදීව පෙළ හැදුනොත් එහි මට ගැටලුවක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමයට පෙළ හැදුනොත්, මට භාරගන්නත් පුළුවන්. භාර ගෙන රට හදන්නත් පුළුවන්.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔබට මීට පෙර අගමැතිකම භාර ගන්න කිව්වා නේද? එදා භාරගත්තා නම් ඔබට මේ තත්ත්වය වෙනස් වෙන්න තිබුණද?

මම එදා කිව්ව විදිහට ඔහු වැඩ පටන් ගත්තා නම් ඔහුත් අදත් රටේ සිටිනවා.

ඔබ එදා ඔහුට කිව්වේ මොනවද?

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය යළිත් ගේන්න ඕන. ඔහු සියලු අමාත්‍යාංශ අතහරින්න ඕන. අගමැති ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජන ආරක්ෂාව සියල්ල මට දෙන්න ඕන කියලයි. ඔහු පියවරක් පසුවට අරගෙන මට රට කරන්න දුන්නොත් මම තනතුර භාර ගන්නවා කියලා කිව්වා. ජනතාව තුළ බලාපොරොත්තුවක් ඇති වෙලා මේ තත්ත්වයක් සමනයට පත් වෙයි කියලා මම ඔහුට එදා කිව්වා. ඔහු එය විශ්වාස කළේ නැහැ. ඔහු කිව්වා ඒකට ඔහුගේ අයියලා දෙන්නා කැමති නැහැ කියලා. ඊට පසුව එතැනින් එහාට කතා බහක් ගියේ නැහැ. එදා එහෙම වුණා නම් ජනතාවට ඔහු කෙරෙහි තිබූ කෝපය නැතිවෙන්න තිබුණා. එහෙනම් අදටත් ඔහු ජනාධිපති කමේ සිටිනවා කියලා මම හිතනවා. එහෙනම් අපි මේ වෙනකොට රට යම්කිසි ගමනක් යන්න ආරම්භ කරලා.

සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණොත් ඔබ අගමැතිද?

එහෙම නැහැ. ඇත්තටම එක් එක් පාර්ශ්ව සමග කතා බහ යන්නේ සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණොත් ඩලස් අලහප්පෙරුම අගමැති වෙයිද. එහෙම නැතිනම් ඩලස් අලහප්පෙරුම ජනාධිපති වුණොත් සජිත් අගමැති වෙයිද යන්න පිළිබඳවයි මාස ගණනක් තිස්සේ මේ කතා බහ කෙරෙනවා ඇත්තටම කතාබහ වැඩියි.

මේ රජයේ ඔබට නීතිය හා සාමය අමාත්‍යාංශය ලැබුණොත් ඔබ රාජපක්ෂවරුන්ගෙන් පලි ගනී කියලා බොහෝ දෙනෙක් කියනවා?

මට පලිගන්න ඕන නැහැ. රටේ මිනිස්සු කියන්නේ කවුරු ආවත් ඒගොල්න්ට අවශ්‍ය දඬුවම් දෙන්න කියලා. පලිගන්නව කියන්නෙයි හොරු අල්ලලා දඬුවම් කරනවා කියන්නෙයි එකම තේරුම නම් මේවා කියන මිනිස්සුන්ට ඒක තේරුම් කරලා දෙන්න අවශ්‍ය වෙනවා. අනිවාර්‌යෙන්ම මම නීතිය ක්‍රියාත්මක කරනවා. මම කාත් එක්කවත් ඩීල් දාන්න යන්නේ නැහැ. මම සියලු දේ කරන්නේ නීතියට අනුවයි.

මේ දිනවල තවත් කතාවක් යනවා ඔබත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හමුදාවරට අල්ලන්නට යනවා කියලා?

මෙවැනි කතා හදන මිනිස්සු හින්දා තමයි රට අද මේ තැනට පත්වෙලා තිබෙන්නේ. එවැනි කට කතා පතුරවන මිනිස්සුන් මේ රටේ ඉරණමට වග කියන්න ඕන. දියුණු රටක මිනිස්සුන්ට මේ වාගේ ඕපාදූප කතා කර ඉන්න වෙලාවල් නැහැ. ඒ මිනිස්සු හැම මොහොතේම වැඩ.

ශිරෝමි රත්නායක

About the author

Aloka

Leave a Comment