Sat. Jul 27th, 2024

ගෙදරට ගේන ගෑස් සිලින්ඩරේ ඉක්මනටම ඉවර වෙනවද? එහෙමත් නැත්නම් ඒක නිසියාකාරයෙන් පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔයාට හිතාගන්න බැරිද?ඉතින් අද සූදානම් වෙන්නේ ඔයා නිරන්තරයෙන්ම මුහුණ දෙන මේ ප්‍රශ්නෙට සරල විසඳුම් කීපයක්  හරහා ඔයාව දැනුවත් කරන්න.

එකවර ආහාර පිසීම සිදු කිරීම

සාමාන්‍යයෙන් ගෘහණියන්  බහුතරයක් දෙනා තුන් වේලම ආහාර පිසීම සිදු කරනවා.ඒ වගේම තමයි තවත් සමහරක් දෙනා තමන්ට විවේකය ලැබුණු අවස්ථාවන්වලදී තමයි ආහාර කිසිම සිදු කරන්නේ.කෙසේ නමුත් ගෑස් පාවිච්චි කරන අවස්ථාවේදීම ඔයාට පහසු ආහාර වර්ග කීපයක් එකවර පිස ගැනීම තුළින් අනවශ්‍ය ආකාරයෙන් ගෑස් අපතේ යාම වලක්වගන්න පුළුවන්.ඒ කියන්නේ එක ආහාර වර්ගයක් පිසීමෙන් අනතුරුව වුනත් සැලකිය යුතු උෂ්ණත්වයක් ගෑස් ලිපේ රැඳිලා තියෙනවා. එනිසාම ඔයා ඒ සැරේම නැවත ව්‍යංජනයක් පිස ගන්නවා  අනවශ්‍ය ආකාරයෙන් ලිපදැල්වීමට යන ගෑස් ප්‍රමාණය ඉතිරි කර ගැනීමට හැකියාව තියෙනවා.

ආහාර පිසීමට සුදුසු බඳුන් තෝරාගැනීම.

අපේ ගෘහණියන් බොහෝ දෙනා සිදු නොකරන දෙයක් තමයි මේක.සාමාන්‍යයෙන් ඝනකමින් වැඩි මැටි භාජන ගෑස් ලිපේ ආහාර පිසීම සඳහා අපි භාවිතා කරන්නේ නෑ මොකද මේ මැටි භාජනය රත් වෙන්නම විශාල කාලයක් වැය වෙනවා.එනිසාම නන්ස්ටික් භාජන වැනි අමුද්‍රව්‍ය වලින් සකස් කෙරූ භාජන ගෑස් ලිපේ ආහාර පිසීම සඳහා අපිට යොදා ගත හැකියි.ඒ වගේම වර්තමානයේ වෙළඳපොලේ ගෑස් ලිපේ ආහාර පිසීම සඳහාම නිර්මාණය කෙරූ මැටි භාජනත් මිලදී ගැනීමට හැකියාව තියෙනවා.ඉතින් ගෑස් ලිපේ ඉවීමට සුදුසු භාජන තෝරාගැනීම තුළින් අනවශ්‍ය ආකාරයෙන් ගෑස් දහනය වීම වළක්වා ගැනීමට හැකියි.

ආවරණය වූ ස්ථානයක නිසි ලෙස ගෑස් ලිප ස්ථාපනය කිරීම.

සාමාන්‍යයෙන් ගෑස් සිලින්ඩරයක් සහ ගෑස් ලිපක් ස්ථානගත කළ යුත්තේ හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක කියන එක බහුතරයක් දෙනා දන්න මූලික කරුණක්.හැබැයි එහෙමයි කියලා හැමතිස්සෙම සුළං හමන අධික වාතාශ්‍රයක් ලැබෙන තැනක ගෑස් ලිප භාවිතා කිරීම තුළින් අනවශ්‍ය ලෙස ගෑස් අපතේ යාම සිදුවෙන්න පුළුවන්.ඒකට හේතුව තමයි අනවශ්‍ය විදිහට සුළං හමන විට ගෑස් ලිපේ දැල්ලේ තීව්‍රතාවය අඩු විම සිදුවෙනවා.එම නිසාම ආහාර පිසීමේ කාර්යය ප්‍රමාද වෙනවාත් එක්කම ගෑස් ලිපට වැඩිපුර ගෑස් ප්‍රමාණයක් දහනය කිරීමට සිදුවේ.

ඉතින් අපි මේ සඳහන් කළේ මූලික වශයෙන්ම ගෙදරදි ඔයාට කරන්න පුළුවන් දේවල් ටිකක් විතරයි.ඊට අමතරව නිරන්තරයෙන්ම වතුර රත් කිරීම වැනි දේවල් වලට අපි ගෑස් ලිප සෑම අවස්ථාවකදීම පාවිච්චි කරනවා. ඒ වෙනුවෙන් උණු කෙරූ වතුර උණුසුම් බෝතලයක තබා ගැනීම තුළිනුත් අනවශ්‍ය ආකාරයෙන් ගෑස් දහනය වීම වළක්වන්න පුළුවන්.

ඉතින් මේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුළින් අර පිරිමැස්මෙන් ගෑස් භාවිතා කර පසුම්බියටත් ආර්ථිකයටත් සහනයක් අත්කර ගැනීමට ඔබට හැකි වේ.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *