Official Paththare Web Portal

විවාහයට පෙර ලිං#ගික සබඳතා පැවැත් වුවොත් දැඩි දඬුවම්..

විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පවත්වන්නන්ට දැඩි දඬුවම් ලබාදීමේ නීතියක් ගෙන ඒමට ඉන්දුනීසියාව සූදානම් වේ. මෙය අපරාධ නීතියක් වනු ඇති අතර එය ලබන සතියේ එරට පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරෙනු ඇති බව පැවසේ. විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීම මෙන්ම විවාහයට පිටින් ලිංගික සබඳතා පැවැත්වීමද මෙම නීතිය යටතේ අපරාධ ලෙස සැලකෙනු ඇත. මේ සම්බන්ධයෙන් වරදකරුවන් වන අයට අවුරුද්දක කාලයක් දක්වා සිර දඬුවම් ලබාදීමට හැකියාව ඇති බවද වාර්තා වේ.

මෙම දඬුවම් ලබා දෙනු ඇත්තේ මෙවැනි වැරදි කරන්නන් සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණහොත් පමණි. විවාහකයන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ අයිතිය ඇත්තේ අදාළ පුද්ගලයාගේ සැමියාට හෝ බිරිඳටය. විවාහ නොවූ පුද්ගලයන්ගේ මව්පියන්ට මේ ආකාරයෙන් පැමිණිලි කිරීමට හැකියාව තිබේ.

මෙම නීතිය ඉන්දුනීසියානුවන්ට මෙන්ම එරට වෙසෙන විදේශිකයන්ටද එකසේ බලපානු ඇත. ඇතැම් නිරීක්‍ෂකයන් පවසන්නේ මෙවැනි නීති පැනවුවහොත් විදේශිකයන් ඉන්දුනීසියාවට පැමිණීම අඩුවනු ඇති බවයි. එය එරට ආර්ථිකයට බලපෑමක් එල්ල කරන්නක් වනු ඇති බවට ඔවුහු අනතුරු අඟවති. ඔවුන් පවසන්නේ සංචාරක කර්මාන්තයට සහ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට එය බලපානු ඇති බවය. කෙසේ හෝ වේවා, මේ පිළිබඳව ප්‍රකාශයක් කරමින් එරට අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය ඕමාර් ෂරීෆ් හියරීජ් පවසා තිබුණේ ඉන්දුනීසියාවේ වටිනාකම් පිලිබිඹු කරන නීති පද්ධතියක් තිබීම ආඩම්බරයක් වනු ඇති බවයි.

ලිංගික සබඳතාවලට අදාළ නීති මෙන්ම තවත් නීති කිහිපයක් ගෙන ඒමට පාර්ලිමේන්තුව සූදානම් වන බව ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන්ය. ජනාධිපතිවරයා සහ රජයේ ආයතන අපහාසයට ලක්කිරීම තහනම් කරන නීතිද ඒ අතර වන බව පැවසේ. ජනාධිපතිවරයා අපහාසයට ලක්කිරීම වසර තුනක සිර දඬුවම් ලැබිය හැකි වරදක් වනු ඇත. කෙසේ වෙතත් මෙවැනි වරදක් සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණි.

ඉන්දුනීසියාව මෙවැනි නීති ගෙන ඒමට සූදානම් වූ පළමු වතාව මෙය නොවේ. 2019 වසරේද මෙවැනි උත්සාහයක් ගනු ලැබිණි. නමුත් ඊට එරෙහිව එම අවස්ථාවේ එල්ල වූ දැඩි විරෝධය නිසා එය හකුලා ගනු ලැබිණි. රට පුරා දස දහස් ගණනක් දෙනා ඊට එරෙහිව විරෝධතා දැක්වූහ. සිසුන් වැනි පාර්ශ්ව විශාල වශයෙන් මෙම විරෝධතා සඳහා එක්ව සිටි අතර රජය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර යොදා ගනිමින් එම විරෝධතා මර්දනය කිරීමට කටයුතු කළේය. ඇතැම් සම්ප්‍රදායික අදහස් දරන කණ්ඩායම් මෙම නව නීතිවලට සහය දක්වන බව වාර්තා වේ. නමුත් සිවිල් අයිතිවාසිකම් පිළිබඳ උනන්දුව දක්වන පිරිස් ඊට විරෝධය දක්වති.

සහන් වික්‍රමගේ