Official Paththare Web Portal

ෂාරුක් ඛාන්ට ඉන්දියානු රුපියල් ලක්ෂ 6ක දඩයක්

නීති විරෝධීව ඔරලෝසු කිහිපයක් රැගෙන ඒම සම්බන්ධයෙන් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්, මුම්බායි ගුවන් තොටුපොළේ රඳවා ගෙන තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ සාජා නුවර පැවති උත්සවයකට සහභාගී වූ ඔහු, පෞද්ගලික ජෙට් යානයකින් මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ඔහුගේ ගමන් මලු තුළ තිබී මිල අධික ඔරලෝසු කිහිපයක් හමුවීමත් සමග ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් ඔහුව රඳවාගෙන තිබෙන අතර ඉන්දීය රුපියල් හය ලක්ෂ අසූ තුන්දහසක දඩයක් අයකර ගැනීමෙන් පසුව ඔහුව මුදා හැර තිබෙනවා.

ආරක්ෂක නිලධාරියා ඇතුළුව ෂාරුක් ඛාන් සමග පැමිණි තවත් කිහිපදෙනෙකු පැය ගණනාවක් ගුවන් තොටුපොළේ රඳවා ගෙන ප්‍රශ්න කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඔවුන්ගේ ගමන් මලු තුළ තිබී සොයාගත් ඔරලෝසුවල වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 18ක් වන අතර ෂාරුක් ඛාන් ඩුබායි රාජ්‍ය වෙත ගොස් තිබුණේ සාජා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගී වීමටයි.

එහිදී සිනමාව සහ සංස්කෘතිය වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් ඔහුට ගෞරව සම්මානයක් ද පිරිනැමුනා.