Thu. Sep 19th, 2024

වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අදාළ විශේෂඥ වෛද්‍යවරයා වැලිකඩ බන්ධනාගාර රෝහලට පැමිණීමෙන් අනතුරුව සැකකරු පරික්ෂා කරනු ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. 

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි පුද්ගලයා පසුගිය 19වනදා වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමු කෙරුණා.

එහෙත් එදින අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලට නොපැමිණි බවයි වාර්තා වුණේ.

කෙසේවෙතත් වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් විසින් සැකකරු පරික්ෂා කර තිබුණා.

එහිදී තීරණය වී ඇත්තේ  අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි පුද්ගලයා දින කිහිපයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ එම රෝහලේම තබා ගැනීමටයි. 

එදින සිට ඊයේ දිනය දක්වා එම වෛද්‍යවරුන් විසින් සැකකරුගේ හැසිරීම් රටාව ඇතුළු සියලු ක්‍රියාකාරකම් පිළිබඳ අධීක්ෂණය කර තිබෙනවා.

ඒ අනුව මේ දක්වා කාලය තුළ ඔහු පිළිබඳ සකස් කළ වාර්තාවක් අද දිනයේ වැලිකඩ බන්ධනාගාර රෝහලට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරයාට ලබා දීමට නියමිත බවයි වාර්තා වුණේ. 

ඉන් අතනුරුව අදාළ විශේෂඥ වෛද්‍යවරයා විසින් එම තොරතුරු ද පදනම්ව විශේෂ වාර්තාවක් සකස් කර එම වාර්තාව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.   

අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා පිළිබඳ එලෙස වාර්තාවක් ලබා දෙනු ලබන්නේ අධිකරණය ලබා දුන් නියෝගයක් මතයි.

අදාළ වාර්තාව සකස් කිරීමෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටි සැකකරු අද දිනයේ කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත මාරු කිරීමටයි තීරණය කර ඇත්තේ.  

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *