Thu. Sep 19th, 2024

රසායනාගාර වියදම් කළමනාකරණය කිරීම සඳහා රෝහල්හි නොමිලයේ සිදුකළ ඇතැම් පරීක්ෂණ සීමා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග දකුණු පළාතේ රෝහල් අධ්‍යක්ෂවරුන්ට දන්වා ඇත.

දකුණු පළාතට අයත් උඩුගම, ඇල්පිටිය, බලපිටිය, දෙණියාය, කඹුරුපිටිය, තිස්සමහාරාම, තංගල්ල හා වලස්මුල්ල යන මූලික රෝහල්වලට මේ බව දන්වා යවා ඇත.

බාහිර රෝගී අංශය මගින් ලිපිඩ පරීක්ෂණ (Lipid Profile) සහ අක්මාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ පරීක්ෂණ (Liver Function Test) ආදියේ ඇණවුම් නතර කිරීම සඳහා වහාම පියවර ගන්නා ලෙස දන්වා ඇත. එම පරීක්ෂණ සායන මගින් හා නේවාසික රෝගීන් සඳහා පමණක් සිදුකිරීමටද උපදෙස් දී ඇත.

වාට්ටු සහ හදිසි සත්කාර ඒකකයට (ETU) මගින් අතුළත් වන රෝගීන්ට ලබා දෙන පොදු පරීක්ෂණ ලැයිස්තුවේ අඩංගු FBC, CRP, RFT, LFT පරීක්ෂණ වෙනුවට රෝගියාට අදාළ පරීක්ෂණ පමණක් ඇණවුම් කිරීම සඳහා එම ඒකකවල වෛද්‍යවරුන්ට සමග සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද දන්වා ඇත. අත්‍යවශ්‍ය හදිසි රෝගියකු සඳහා හැරුණු විට රාත්‍රි කාලයේ ලැබෙන එක් එක් සාම්පලය සඳහා වරින් වර Bio Chemistry Analyzer වැනි යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම වෙනුවට රාත්‍රි කාලයට වාර දෙකක් හෝ අවම ප්‍රමාණයක් පමණක් ඒවා භාවිත කරන ලෙසටද උපදෙස් දී තිබේ. මේවා ක්‍රියාත්මක කිරීමේදී අධීක්ෂණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියකු පත්කරන්නැයිද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා දන්වා තිබිණි.

රසායනාගාර වියදම් කළමනාකරණය කිරීමේ අරමුණින් රසායනාගාර සඳහා ප්‍රතික්‍රියාකාරක මිලදී ගැනීමට අති විශාල මුදලක් වැයවී ඇතැයි අනාවරණය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *